දේශීය පුවත්
ශ්‍රී ලංකා තේ ලෝක වාර්තාවක් බිහි කරයි – විතානකන්ද තේ කර්මාන්ත ශාලාවෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක්
ජපානයේ පැවති ලෝක ප්‍රදර්ශනයකට සමගාමීව සංවිධානය කළ විශේෂ තේ වෙන්දේසියකදී, රත්නපුර විතානකන්ද තේ කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකා තේ ඉතිහාසයේ නව මාර්ගයක් විවර කළා. එම වෙන්දේසියේදී විතානකන්ද නිෂ්පාදිත තේ කිලෝග්‍රෑමයක් ඇමරිකානු ඩොලර් 860ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 2.55ක් පමණ) මිලකට විකුණනු ලැබූ අතර, එය ගිනස් ලෝක වාර්තාවක් ලෙසත් ලියාපදිංචි විය.
මෙම විශේෂ තේ වෙන්දේසිය සංවිධානය කරනු ලැබුවේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ දෙරටේ තේ වෙළෙඳ සංගම් එක්වය. තේ තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේදී පැවති දැඩි තරගකාරී ක්‍රියාවලියකින් පසු තේ වර්ග 27ක් තෝරාගත් අතර, එයින් සබරගමුව පළාත නියෝජනය කළ විතානකන්ද තේ කර්මාන්ත ශාලාවේ “ලංකා කළු තේ (FFFxSp)” වර්ගය රන් සම්මානය දිනාගත්තේය.
ජපානය සහ ප්‍රංශය අතර ව්‍යාපාරික කටයුතු කරන “ජනට් පාරිස් ඉන්ටර්නැෂනල්” සමාගම විසින් මෙම තේ තොගය ලෝක වාර්තාගත මිලකට මිලදී ගත් අතර, එම සමාගම සඳහන් කළේ “විතානකන්ද තේ” සඳහා විශේෂ ඉල්ලුමක් පවතින බවය.
1940 දී පුංචි බණ්ඩාර හේරත් පිලපිටිය මහතා විසින් ආරම්භ කළ මෙම කර්මාන්ත ශාලාව, අද එම්.ජී. සමූහය යටතේ පවත්වාගෙන යන අතර, වාර්ෂිකව ලක්ෂ 200කට ආසන්න තේ ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.
නව විතානකන්ද තේ කර්මාන්ත ශාලාවේ ප්‍රධාන විධායක නිලධාරී පුබුදු ගුණසේකර මහතා පැවසුවේ, “මෙම ජයග්‍රහණය ගුණාත්මකභාවය, කණ්ඩායම් සම්බන්ධතාවය සහ ශ්‍රී ලංකා තේ සන්නාමය ලෝකයට නැවත උසස් තැනක තැබීමක් බව” යන්නයි.
මෙම වෙන්දේසියෙන් ලැබුණු මුදල් කොළඹ තේ අලෙවිකරුවන්ගේ සංගමයේ පුණ්‍යායතන අරමුදලට බැර වන අතර, එය තේ වතු කම්කරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන හා සුබසාධන කටයුතු සඳහා යොදවනු ඇතැයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය නිවේදනය කරයි.
