සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

01 සහ 06 ශ්‍රේණි සඳහා නව විෂය නිර්දේශය කඩිනමින් නිකුත් කිරීමට පියවර

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 01 සහ 06 ශ්‍රේණි සඳහා අදාළ විෂය නිර්දේශය, ගුරු අත්පොත් සහ කාලසටහන් කඩිනමින් නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගන්නා බව සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුවැව මහතා පවසන්නේ, මෙතෙක් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ කිසිදු ශ්‍රේණියකට නිල වශයෙන් විෂය නිර්දේශ හෝ ගුරු මාර්ගෝපදේශ නිකුත් කර නොමැති බවය.

මේ අතර, 2026 වර්ෂය සඳහා 01 සහ 06 ශ්‍රේණිවලට අදාළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මොඩියුලර් සහ ගුරු මාර්ගෝපදේශ සටහන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කළ නිළ ලේඛන නොවන බවද ඔහු පැවසීය.

අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ගුරුවරුන්ගේ පුහුණු වැඩසටහන් ද මේ වනවිට නිමව ඇති බවත්, එය 2026 වසර ආරම්භයේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්ය.

නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ද පවසන්නේ, 01 සහ 06 ශ්‍රේණි සඳහා ලබන වසරේ සිට පෙළ පොත් ලබා නොදෙන බවත්, නව ක්‍රමවේදය යටතේ ඒ වෙනුවට මොඩියුල් පාඨමාලා ක්‍රමයක් යොදා ගැනීමට නියමිත බවත්ය.

Tags