දේශීය පුවත්
රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4ක ලාභාංශය භාණ්ඩාගාරයට
කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය ව්‍යාපාර කිහිපයකින් ලබාගත් රුපියල් මිලියන 757.4ක ලාභාංශ මුදලක් අද (07) භාණ්ඩාගාරයට භාර දී තිබේ.
මෙම ලාභාංශ භාරදීමේ වැඩසටහන පාර්ලිමේන්තු මන්ඩපයේදී පැවැත් වූ අතර එහිදී කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාට මෙම මුදල් භාර දීමට කටයුතු කරන ලදී.
මෙම අවස්ථාවට ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නියෝජනය කළ නායකයින් සහභාගී වූහ.
ලංකා මිනරල් සෑන්ඩ් ආයතනය වෙනුවෙන් වැඩබලන සභාපති ගයාන් වෙල්ලාල මහතා රුපියල් මිලියන 500ක් භාණ්ඩාගාරයට ලබා දුනේ පසුගිය මාස 9 කාලයේදී ලැබුණු ලාභාංශවල කොටසක් ලෙසය. ඔහු සඳහන් කළේ, මෙම වර්ෂය අවසානයේදී රුපියල් බිලියන 5ක ආදායම් ඉලක්කය ලක්‍ෂ්‍ය කරගෙන ක්‍රියා කරන බවය.
BCC Lanka Limited ආයතනය වෙනුවෙන් එහි සභාපති H.A. ප්‍රසන්න ඉන්ද්‍රජිත් මහතා රුපියල් මිලියන 50ක් භාර දුනේය. දිගින් දිගටම පාඩු ලැබූ මෙම ආයතනය මේ වන විට මිලියන 105ක තැන්පතු රැස් කිරීමට සමත් වී ඇති බවද ඔහු පැවසීය.
ජාතික ලුණු සමාගම වෙනුවෙන් එහි සභාපති ගයාන් වෙල්ලාලගේ මහතා රුපියල් මිලියන 100ක ලාභාංශයක් භාර දුනේය. ඔහු පැවසුවේ, ලුණු හිඟයකට මුහුණ දුන් අවස්ථාවකින් පසු ඉතිහාසයේ උපරිම නිෂ්පාදන මට්ටමට ලුණු සමාගම ළඟා වී ඇති බවය.
ලංකා පොස්පේට් සමාගම වෙනුවෙන් සභාපති ආනන්ද ප්‍රේමකුමාර මහතා ප්‍රකාශ කළේ, ඉදිරි සතියේදී රුපියල් මිලියන 100ක් භාණ්ඩාගාරයට ලබා දෙන බවත් ඉතිරි ලාභාංශ ආයතනයේ සංවර්ධනය සඳහා යොදන බවත්ය.
ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් ආයතනය වෙනුවෙන් සභාපති P.V.A. හේමලාල් මහතා රුපියල් මිලියන 7.4ක් භාණ්ඩාගාරයට ලබා දී ඇති අතර, මෙය වසර 14කට පසු එම ආයතනය විසින් භාණ්ඩාගාරයට මුදල් ලබා දීමේ පළමු අවස්ථාවක් බවද සඳහන් වේ.
මෙම ආයතනවලින් ලබාදුන් මුළු මුදල වන රුපියල් මිලියන 757.4ක්, අර්ධ වාර්ෂික ලාභාංශයකින් ඉදිරිපත් කළ එකතුවක් වන අතර, ඉදිරි කාලය තුළ සම්පූර්ණ වාර්ෂික ලාභාංශය භාණ්ඩාගාරයට ලබාදීමට කටයුතු කරන බව කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කරයි.
