දේශීය පුවත්
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට විවේචන
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු වැඩි කිරීමට සූදානම් වන්නේ මණ්ඩලය වෙනුවෙන් ඉදි කරන නව ගොඩනැගිල්ලක් සහ මණ්ඩලයේ ණය වාරික පියවීමේ අරමුණින් බව පාර්ශව රැසක් ඊයේ (08) චෝදනා කර ඇත.
ඊයේ දිනයෙන් විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ අවසන් දිනය යෙදීමත් සමඟ විවිධ දේශපාලන හා සමාජ පාර්ශව ඒ සම්බන්ධයෙන් විවේචන කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ, 2025 ජූනි මාසයේ සිට විදුලි මිල සූත්‍රය ප්‍රකාශයට පත් කර නොමැති බවත්, විදුලිබල මණ්ඩලය ඉන්ධන ලීටරයකට රුපියල් 10 සිට 12 දක්වා ගෙවන බවත්ය. එහෙත් තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය ලාභ ලබන අතර, එම බර ජනතාවට දැරීමට සිදුව ඇති බවද ඔහු පැවසීය.
එමෙන්ම විදුලිබල මණ්ඩලයට නව ප්‍රධාන ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ඇස්තමේන්තුවක් සකස් කර ඇති අතර එම ව්‍යාපෘතිය සඳහා කෝටි ගණනක් මුදල් වෙන් කර ඇති බවත්, එම මුදලද ගාස්තු සංශෝධනයට එක් කර ඇති බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය. මීට අමතරව, විදුලිබල මණ්ඩලයේ පැරණි ණය රුපියල් කෝටි 783ක් ද මේ සංශෝධනයට එකතු කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාද අදහස් දක්වමින් පැවසුවේ, විදුලිබල මණ්ඩලයට නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ අවශ්‍යතාවයක් නොපෙනෙන බවත්, එවැනි ගොඩනැගිල්ලක් සාදන විට එහි පිරිවැය ජනතාවගෙන් ගාස්තු ආකාරයෙන් ඉපයීම ගැටලුවක් බවයි.
එසේම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා සඳහන් කළේ, විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අසත්‍ය කරුණු රැසකින් සමන්විත බවත්, එය ජනතාවට අසාධාරණ පීඩාක් ඇති කරන ක්‍රියාවක් බවත්ය.
