සොයන්න
උණුසුම් පුවත්

Movie Review

“රාණි” හඳගමයන්ගේ නිර්මාණය ගැන කයිවාරුවක්

‘රාණි’ සිනමා පටය නැරඹුවාට පසු ඒ සම්බන්ධයෙන් යමක් නොලියා සිටීමට බැරි විය​. ලොව පුරා තිබෙන විවිධ Generes වලට අයත් සිනමා නිර්මාණ රසවිඳින්නන් වන අප වැන්නවුන්ට වැඩේ අවසානයේ ‘සුපිරියක්’ යන හැගීම ඇති කරලීම පහසු නැත​. අශෝක​ හඳගමයන්ගේ නිර්මාණය සැබවින්ම සුපිරියක් ය​. දේශපාලකයාව සැබෑ ස්වරූපයෙන්, නියමාකාරයෙන් නිර්මාණයකට ගෙන ඒමට මෙතෙක් තිබූ බාධක බැමි කඩා දැමීමක් ය​.

රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව සමයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන, පැහැරගැනීම්, මානව හිමිකම් කඩකිරීම් වැනි අපරාධ දාමය මෙතෙකැයි කියා ලඝු කල නොහැකි තරම් ය​. රිචඩ් ද සොයිසා එවකට මෙකී අපරාධ සම්බන්ධයෙන් වන තොරතුරු විදේශ රටවලට වාර්තා කිරීම සහ ප්‍රවෘත්ති ඒජන්සියක් වෙනුවෙන් එකතු කිරීම සිදුකරගෙන ගිය නිර්භීත මාධ්‍යවේදියෙකි.

1990 පෙබරවාරි 18 වනදා ඔහුව සන්නන්ධ කණ්ඩායමක් විසින් පැහැරගනු ලබන අතර​, පසුව කෲර ලෙස වධ බන්ධනයට ලක් කර මරා දමා තිබූ ඔහුගේ නිසල සිරුර වෙරළට ගොඩගසා විත් තිබුණි.​ ඔහුගේ මව වන විශේෂඥ වෛද්‍ය මනෝරාණි සර්වනමුත්තු විසින් රිචඩ්ව හඳුනා ගැනීමත් ඉන්පසු එම සිදුවීම් වටා ගෙතෙන දේශපාලනික​, සාමාජයීය සිදුවීම් වල පෙළගැසීමත් මෙම සිනමා නිර්මාණය හරහා දෘශ්‍යමාන කර ඇත​.

ප්‍රධාන චරිතය ගෙන දක්වන ස්වර්ණා මල්ලවආරච්චිගේ රංගණ ප්‍රතිභාව අග්‍රගණ්‍ය වන අතරම එහි අඩුපාඩුවක් දැකීමට තරම්වත් අප හෙළ සිනමාවේ මුහුකුරාගියවුන් නොවන්නේය. සනත් ගුණතිලක​, බිමල් ජයකොඩි, අශාන් ඩයස්, මයුර කාංචන වැන්නවුන්ගේ ප්‍රතිභා පූර්ණ රංගණයද නිර්මාණයේ ජීව ගුණය ඉහළටම ඔසවා තැබීමට ශක්තියක් වී ඇතිවාට සැක නැත​.

මව්වරුන්ගේ පෙරමුණේ ප්‍රධාන මුහුණත බවට පත්වන මනෝරාණි සර්වනමුත්තු මහත්මියගේ අත්දැකීම් සමුදාය නිර්මාණය පුරාවට ඔබට දැකගත හැකි වන අතර ප්‍රසිද්ධ ඕපාදූපයකින් සිනමා පටයේ අවසන් දර්ශණය ගෙන දක්වා ඇත​. කොළඹ Eliteය​ හැරුණු විට ග්‍රාමීය ජනයාට තොරතුරු දැන ගැනීමට තිබූ අල්ප ඉඩ හසර නිසාම ප්‍රේමදාස වැන්නෙකු පිළිබඳව තිබූ ගෞරව සම්ප්‍රයුක්ත ආකල්පයද චිත්‍රපටයේ හරි අපූරුවට රසවිඳගැනීමට ඉඩ ප්‍රස්ථාව තබා ඇත​. 

නිර්මාණමය රසයට බාධාවක් නොවන ආකාරයෙන් එය රසවිඳීමට ඔබ හට ඉඩ හසර සලසා මා හට අසා දැන ගැනීමට තිබෙන ප්‍රශ්ණ කිහිපයක් පැවති පවතින පාලනාධීකාරීන් සහ පුද්ගලයන් කිහිප දෙනෙකුට යොමු කරනු කැමැත්තෙමි. මව්වරුන්ගේ පෙරණුම (මා පෙරමුණ යන්න හිතාමතාම වැරදි ලෙස සටහන් කලේ ඇයිදැයි සිනමා පටය නැරඹූ ඔබට තේරුම් යනු ඇත​.) හරහා බලයට කැන්දාගෙන ආ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවෙන් රිචඩ්ට හෝ ප්‍රේමදාස ආණ්ඩුවේ කෲර මර්ධනයට හසුවූ දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්ට යුක්තිය සාධාරණත්වය ඉෂ්ඨ වූවා ද​? චිත්‍රපටයේ ඇතුලත්මුදලිගේ චරිතයට පණ පොවන එවකට චන්ද්‍රිකා ආණ්ඩුවේ සමීපතමයා සනත් ගුණතිලක මාධ්‍යවේදි රෝහණ කුමාරගේ ඝාතනය පිළිබඳව​ කතාවත් චිත්‍රපටයට නගන්න තොරතුරු කෙදිනක හෝ පවසාවිද​? මානව හිමිකම් වෙනුවෙන් එවක වේදිකා දෙවනත් කල මහින්ද රාජපක්‍ෂ ඔහුගේ පාලන සමයේ සිදුවූ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම්, අතුරුදන් කිරීම්, පහරදීම් හා පැහැරගැනීම් පිළිබඳව සුළු හෝ සහකම්පනයකින්වත් පසුවනවා ද​?

රාණි බලන්න​. රහ වැඩක්. ඔබට සුභ දවසක්!

 

Tags