සොයන්න
උණුසුම් පුවත්

Movie Review

ජගත් මනුවර්ණයන්ගේ නවතම සිනමා සිත්තම -​ රහස් කියන කඳු

මං සියදිවි…. Suicide කරගන්න තීරණය කලා.” මේ තියන්නේ ජගත් මනුවර්ණයන් අධ්‍යයක්‍ෂණය කරන රහස් කියන කඳු චිත්‍රපටයේ ඔහු විසින්ම​ පණ පොවනු ලබන චරිතයේ සඳහන් කරනු ලබන දෙබසක්. මෑත කාලීනව බිහිවුණු හොඳම සිංහල චිත්‍රපටයක් වශයෙන් බොහෝ දෙනා තමන්ගේ ප්‍රතිචාර මෙම නිර්මාණයට එකතු කරලා තිබෙනවා. සිනමා පටය නරඹපු පුද්ගලයෙක් විදිහට මගේ අදහසත් එය එසේ හැඳින්වීමෙහි වරදක් නැහැ කියන එක​. මුහුණුපොතේ සැරිසරද්දී ජගත් එක තැනක කියනවා සුනිල් ටී ෆර්නෑන්ඩෝ මහත්මයා බොහොම පොඩි මුදලක් තමයි දුන්නේ මේ නිර්මාණය කරගෙන යන්න කියලා. එතනදී ඔහු කියන්නට උත්සාහ දරන්නේ අපේ නිෂ්පාදකවරුන් මසුරුයි කියන එක නෙවෙයි. ලංකාව ඇතුලෙදි නිර්මාණයක් කරලා එළිදක්වන්න තියෙන අමාරුකම පිළිබඳව ඒත්තු ගන්වන්නයි ඔහු උත්සාහ කරන්නේ​. තියෙන සම්පත් කොතරම් සීමිතද කියන එක සමාජයට අවබෝධ කරන්නයි ඔහුට උවමනා වෙන්නේ​.

මොකද​, ලංකාවෙ තවමත් ඉන්දියාවෙ වගේ සිනමාකරණයට සහ ටෙලිනාට්‍යකරණයට දැවැන්ත ආර්ථිකයක් බිහිවෙලා නැහැ. අපිට දක්‍ෂ අධ්‍යක්‍ෂකවරුන්ගේ අඩුවක් නැහැ කියන එක තමයි මෙතනදී මගේ හැගීම​. හැබැයි දැවැන්ත නිර්මාණ එළි දක්වන්න ඔවුන්ට තිබෙන සම්පත් ප්‍රමාණය​, විශේෂයෙන්ම ආර්ථිකය සීමාසහිතයි. මොකද මේ නිර්මාණය රස විඳිද්දී මට සිතුණු දෙයක් තමයි පැය එකහමාරකට සීමා නොවී පැය දෙකක්වත් තිරගතවීම ඉක්මවා ගියා නම් කියන එක​. 

මොකක්ද මේ රහස් කියන කඳු සිනමා පටය ප්‍රේක්‍ෂකයින්ට කියන්නට උත්සාහ කරන්නේ..?

කතා රසයට බාධාවක් නොවෙන්න චිත්‍රපටයේ හරය කුමක් ද කියන එක යම් තරමකින් හෝ එළිදැක්වීම​ට​ තමයි මගේ මේ වෑයම​. රූප රාමු ගලාගෙන යද්දී මගේ යටිසිත ඉගි කරන්න ගත්තේ පත පොතින් කියවලා වගේම විවිධ වස්තු බීජයන්ගෙන් අහල දැකලා තිබුණු 80 දශකයේ සිදුකරපු අතිවිශාල තරුණ සංහාරය වෙතට​. හැබැයි මේ නිර්මාණයෙ කියවෙන්නේ ඒ තරුණ සංහාරය ගැන නොවෙයි. ජගත්ගේ වර්ෂන් එකෙන් කියනවා නම් සමාන්තර විශ්වයක කොහේ හෝ තැනක වෙන එක්තරා සිදුවීමක්. එපමණයි. හැබැයි මට නම් මතක් වෙන්නේම මේ රටේ සිදුකරපු නින්දිත රාජ්‍ය මර්ධනය කියන වචන තුන​. මිනීකඳු ගොඩ ගැහෙන, වේදනාවන් ගිගුම් දෙන තැනෙක මර්ධනයට ලක්වෙන පුද්ගලයා හෝ පුද්ගලයන්ගේ ආඛ්‍යානයෙන් තමයි බොහෝ වෙලාවට මේ පන්නයේ නිර්මාණ වල කතාව ගලාගෙන යන්නේ. නමුත් රහස් කියන කඳු වල තිබෙනවා සුවිශේෂී වෙනසක්. ඒ තමයි මර්ධකයාගේ පාර්ශවය නියෝජනය කරන පරිදි නිර්මාණය ඉදිරියට පෙල ගැස්වීම​. මේ ජගත් මනුවර්ණ යූටියුබ් සම්මුඛ වීමකදී දක්වපු අදහසක්..

“ලංකාවෙ සිදුවුණු මනුෂ්‍ය ඝාතන​, අපරාධ, සමූල ඝාතන මේ වගේ සියළු දේවල් වල අපි ඉන්නේ නිතරම වින්දිතයාගේ පැත්තේ. හැබැයි අපි දෙන්නට මුල ඉඳන්ම අදහසක් තිබ්බා නෑ, මේකෙ පීඩකයගේ පැත්තේ අපි හිටගත්තොත් මේ සිදුවීම කොහොම පෙනෙයි ද කියලා. අපටත් තිබුණු ප්‍රශ්ණෙ තමයි; නාමල්ටයි මටයි, නිර්මාණය ගේන කාලෙ ඉඳන් අපි සාකච්ඡා කරපු දෙයක්. එහෙම මිනිස්සු මරන්න පුළුවන් ද මිනිස්සුන්ට​?

මේ චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ඉදිරිපත් කරන්නේ පොලීසියේ කණ්ඩායමක්. ඒ කියන්නේ මර්ධකයන්ගේ පාර්ශවය​. විනය තිබෙන රාජ්‍ය නියෝග වලට අනුගත වුණු භූමිකාවකට වඩා එතැන තිබෙනවා සාමාන්‍යකරණය තුල අපට දැකගැනීමට විරල පොලිස් නිලධාරීන්ගේ හැසිරීම​. ව්‍යවහාරයෙන් කියනව නම්, අඩියක් ගහලා දුමක් දාන ගමන් ඕමියක් බලන පොලිස් කාරයින්ගෙ හැසිරීම​. කුණුහරුපෙන් එකිනෙකාව අමු අමුවේ ආමන්ත්‍රණය කර ගැනීම​.​ එතකිනුදු නොනැවතී මර්ධකයාටත් පොදුවේ බලපාන ආර්ථිකමය දුෂ්කරතාවයන් හරිම අපූර්වත්වයෙන් නිර්මාණ රසය ගොඩනැංවෙන තැනක ස්ථාන ගත කර තිබෙනවා කියන්නත් පුළුවන්. පහසු ගෙවීමේ ක්‍රමයට ලබාගන්නා ශීතකරණය සහ ඒ හා බැදුණු අවසන් රූප රාමු ඇතුලෙදි ඔබට ඒ පිළිබඳව කියවා ගැනීමටත් වඩා පහසු වේවි. නැවතත් ජගත්ගේ අදහස් වෙතට​.

“එහෙම සොසයිටියක් තියෙනවනෙ දැන් අපිට පේන්න​. එහෙම සමාජයක අර වගේ මිනිස්සු මරන්න​.. ඉතින් හත්තිලව්වේ මොකක්ද මේ තියෙන නොගැලපීම​? අපි ඉන්නේ විකාර සහගත හීනෙකද​? මොකක්ද මේ දකින ලෝක දෙක අපි? එහෙම අපි හිතාගෙන යද්දිම තමයි ඒකෙ තියෙන​ Black Comedy එක මතුවෙන්න ගන්නේ. ඒ මිනිස්සුන්ගේ හැසිරීම විහිළුවක්.”

සහතික ඇත්තක් ජගා. මටත් මතකයි මම කඩේකින් එළියට එන්න හදද්දී කාකි යුනිෆෝම් කාරයෙක් කැෂියර් මල්ලිගෙන් අහනවා, “මල්ලි අඩුවටම තියෙන බිස්කට් පැකට් එක කීයද​?” කියලා.

ආර්ථික ප්‍රශ්ණ වනාහි මර්ධකයාටත් මර්ධනයට ලක් වන්නාටත් පොදුය​. බාගදා ඒ ඔහුගේ දරුවෙකුට රැගෙන යාම සඳහා මිලදී ගැනීමට බලාපොරොත්තු වන බිස්කට් පැකට්ටුව වෙනුවෙන් දැරීමට තරම් මුදලක් තමා අත නොවන නිසාය​. එතැනදී උනුත් අපත් අතරෙහි බෙදුම් රේඛාවක් නැත​. අපේ සමාජයට කාවද්දලා තියෙන ප්‍රසිද්ධ මිත්‍යාවක් පිළිබඳව ඔබත් අසලා තිබෙනවද​? මම ඒක දේශපාලන පක්‍ෂ වලට වහල්කම් කරන වයස නිසා කෙස් පැහුණු සමහර වැඩිහිටි උදවියගෙන් අහලා තියෙනවා. “හැත්තෑ අසූ ගණන් වල කොල්ලො කෙල්ලො තමන්ගෙ ජීවිත විහින්ම විනාශ කරගත්තා.” නැහැ, මගේ අදහස ඒ වීරයන් සහ වීරවරියන් සමාජ පරිවර්තනයක් වෙනුවෙන්, පොදු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න සටන් කරපු නිසාවෙන් තම තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙව්වා කියන එක​.

චිත්‍රපටය වෙත නැවත වරක් හැරුණොත් තරුණ තරුණියො සියදිවි නසාගැනීමේ රැල්ලක් වශයෙන් තමයි එය ගලාගෙන යන්නේ. ඒ සක්‍රීය දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වෙන තරුණ තරුණියො. එනයින්ම අපට මහළු දේශපාලන බහිරවයන්ගෙන් අසන්නට තිබෙන්නේ එය තොපලාගේ බූදලක් යැයි ද කියාය​. තරුණ තරුණියන්ට මේ රටේ දේශපාලනය තහනම් ද​? ඔවුහු මරාදැමීමෙන් මිත්‍යාව වැපිරවීමෙන් සියළු ප්‍රශ්ණ නිවාරණය කල හැකි දැයි කියාය​. අපරාධමය සහ වක්‍රාකාරව දේශපාලනමය කාරණාවක් නිර්මාණය තුලින් ගොඩනැංවූවත් සන්දර්භයෙහි යම් විහිළු සහගත දෙබස් සහ සිදුවීම් ද ඇතුලත්‍ ය​. මිනී කන්දක් පසෙකින් තබා ගෙන ඕපාදූප කතා කියමින් මධුවිත පානය කරමින් කාඩ් සෙල්ලම් කිරීමට හැකිවීමම එක අතෙකින් විහිළුවක් නොවන්නේ ද​? එසේ හැසිරීමට හැකිවීමම තවත් පසෙකින් බිහිසුණු බවක් නොවේ ද​? සැබවින්ම රහස් කියන කඳු යනු දේශපාලනමය ප්‍රහසනයකි.

ආණ්ඩුවේ පණිවිඩය වසංගත තත්ත්වයක් කරණ කොටගෙන තරුණයන් සියදිවි නසා ගන්නා බවය​. ඉන් මිදීමට නම් කඳු මුදුන් වල තරුණයන් 21ක් ගොඩගසා පණපිටින් එක් අයෙක් කිරි වලින් නහවා අවසනදී පුළුස්සා මරා දැමිය යුතුය. “දැන් මේ වගේ තත්ත්වයක් ඇති වුණහම රෝ බිය​, අමනුස්ස බිය​, මරණ බිය හැමතැනම පැතිරිලා යනවා.” ඒ අපේ හාමුදුරුවන් වහන්සේගේ අදහසය​. සැබවින්ම මෙම​ සිනමා පටය තුල සිටින​ ප්‍රධාන චරිතය කවුරුන් දැයි වටහා ගැනීම ඔබට අපහසු එකක් වනු ඇත​.

හොඳම රංගණ ප්‍රතිභාවයන් ගණනාවකින් ගත්කල චමින්ද සම්පත් ජයවීරගේ රංගණයත් ඔහු පෙනී සිටින චරිතයත් පිළිබඳව කතා නොකරම බැරිය​. ඉහල නිලධාරීන්ගේ විධාන යටතේ සාමාන්‍ය ක්‍රියා පටිපාටීන් වල යෙදෙන්නෙකු වූවත් විශේෂත්වය වන්නේ ඔහු හුදෙක්ම අණ පිළිපැදීමටම සූදානම් නොවන්නෙකු නිසාය​. තමාගේ ඉහල නිලධාරියා පල කරන යම් යම් අදහස් ප්‍රශ්ණ කිරීමට ඔහු පැකිලෙන්නේ නැත​. රජය විසින් ගොතන ලද මනඃ කල්පිතය ඔහු විසින් භාර ගෙන නැති බව මාගේ පෞද්ගලික අදහසය​. ටී 56 අවිය අත දරාගෙන පහසුවෙන්ම තමාට මෙල්ල කරගත හැකිව තිබූ තරුණයාට පලා යාමට අවකාශ සලසා දීමත් අවසන් ජවනිකාව තුල කිසිලෙසකින්වත් අපේක්‍ෂා කල නොහැකි ඔහුගේ හැසිරීමත් විටෙක පුදුම සහගතය​.

සරත් කොතලාවලගේ චරිතය පණ පොවනුයේ උසස් නිලධාරියෙකුගේ භූමිකාවකටය​. රංගණයේ තිබෙන විශිෂ්ඨත්වය නිසාම ප්‍රේක්‍ෂක ඔබ ඔහුගේ චරිතය පිළිකුල් සහගත සහ වෛරී චිත්තවේගයන්ගෙන් නැරඹීමට පුළුවන​. නිර්මාණය තුල ඔහුට සිදුවන්නා වූ යම් යම් අකරතැබ්බයන් ඔබව යම් පමණකට හෝ සතුටු කරනවාට ද​ සැක නැත​. මොහුටත් ඉහළින් සිටින නිලධරයා වන ප්‍රියන්ත සිරිකුමාරගේ චරිතය යනු හිත්පිත් විරහිත දරුණු මර්ධකයෙකුට අයත් වන්නකි. ඔහුගේ කතාබහ ඉතාම සුළුවෙන් ය​. රාජ්‍ය මවාපානුයේ බොරු ෆැන්ටසියක් බව ඔහු හොඳාකාරයෙන්ම දනී. තමා සිදුකරන සාපරාධය පිළිබඳ මොහු 100%ක්ම දැනුවත්භාවයකින් යුක්තය​. ඒ පීඩනය නිසාමදෝ අන්‍යයන් සමගින් ඔහුට සාමාන්‍ය පුද්ගලයෙකු සේ හැසිරීමට නොහැකිය​. ඔව්.. සැබෑ ජීවිත වලත් ඒක හිතන තරම් ලේසි නැහැ.  

සමාන්තරව ගලා යන ආගමික සංස්ථාව නියෝජනය කරන රූප රාමු පෙළ පිළිබඳව සටහන් නොකර හැරීම එක පසෙකින් නිර්මාණයට සිදුකරන අසාධාරණයක් කියලා හිතෙනවා. හාමුදුරුවන්ගේ චරිතයට පණ පොවන්නේ කවුරුන් කියලද ඔබ හිතන්නේ. ඒ තමයි කූඹියෝ කතා මාලාවේ නිර්මාපකයා වෙන ලක්මාල් ධර්මරත්න​. අතහැරීම නිවන සොයා යනවා වෙනුවට හාමුදුරුවන්ට සිදුවෙන්නේ ධනවාදය ඇතුලේ සටන් කරන්න​. තට්ටු තුනකට හදන්න සැලසුම් කරන විහාර මන්දිරය තනි තට්ටුවකට හදල නවත්වන එක ගැන කම්පාවෙන්න​. ඒ විතරක් නෙවෙයි ස්ලැබ් එක දාලා අවසානයේ සැටලිම විකුණගන්නේ කොහොමද කියන උභතෝකෝටිකයට මුහුණ දෙන්න​. ධනය ගොඩගැහීමම අරමුණු කරගත්ත ජීවිතයක් ඇතුලේ උන්වහන්සේ වැඩ වාසය කරනවා කිව්වොතින් තමයි නිවැරදි.

මෙතනදි ලොකුම ඛේදාන්තයකට මුහුණ දෙන්නේ මේ තරුණයන්ගේ දෙමව්පියන්. එක පියෙක් ජීවත්වෙන්නේ තරමක් සිහිය විකල් වෙලා. ගෙදර බඩුමුට්ටු විකුණ විකුණා ඔහු සිදු කරන්නේ මත්පැන් පානය​. පුතාගේ රෙදි වැලේ තිබෙන කමිසයත් කලිසමත් දකින දකින වාරයක් පාසා තනියම මුමුණන්නේ ‘මේ රෙදි ටික ගෙට ගනින්කෝ, අව්වට වේලෙනවා වැස්සට තෙමෙනවා‘ කියන එක​. ගල් කොරියක රැකියාව කරන අනෙක් තරුණයාගේ මවට ආගමික නැඹුරුවකට යොමු වෙනවා හැරෙන්නට වෙනත් විකල්පයක් නැහැ. බෝධි පූජාවන්, අපල උපද්‍රව දුරු වීමට විවිධ බාරහාර සිදු කලත් ඇයට ඇයගේ පුත්‍රයාවත් නැවත දැකගන්නට නම් ලැබෙන්නේ නැහැ.

රසාස්වාදයට බාධාවක් නොවෙන්නට සිනමා පටය නැරඹීමේ අවස්ථාව ඔබ වෙතට ඉතිරි කරලා ඉතාම කෙටියෙන් තාක්‍ෂණික කාරණා කිහිපයකට යොමු වෙන්නම්. නිර්මාණයේ ප්‍රධාන චරිත රගදක්වන්නන් විදිහට සරත් කොතලාවල​, ධර්මප්‍රිය ඩයස්, ප්‍රියන්ත සිරිකුමාර​, සම්පත් ජයවීර සහ ආනන්ද කුමාර උන්නැහේ හඳුන්වන්න පුළුවන්. අධ්‍යක්‍ෂණය සිදු කරනු ලබන්නේ ජගත් මනුවර්ණයන් විසින්. තිර රචනය සඳහා ජගත්ට අමතරව නාමල් ජයසිංහත් දායකත්වය ලබා දෙනවා. මේ චිත්‍රපටය වෙනුවෙන් Rotterdam අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී 2023 Netpac Award එකක් හිමිවෙලා තිබෙන බවත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන​.

පහතින් ඔයාලට මේ සුවිශේෂී නිර්මාණයේ පූර්ව ප්‍රචාරක පටය රසවිඳින්න පුළුවන්.

 

Tags