සොයන්න
උණුසුම් පුවත්

Movie Review

පරිගණක ක්‍රීඩා කරලා සැබෑ ජීවිතයේ Professional Racer කෙනෙක් වෙන්න පුළුවන් ද​?

අද අපි බලාපොරොත්තු වෙන්නේ 2023 වසරේ release වුණු අපූරු සිනමා පටයක් පිළිබඳව තොරතුරු ඔබ හමුවේ තබන්න​. මේ සිනමා පටය නරඹලා අවසානයේදී ඔබට එය විශ්වාස කිරීමට අපහසු වූවත් මේ නිර්මාණය ගොඩනැගෙන්නේ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙන​. ඒ ඇදහිය නොහැකි ආශ්වාදජනක සත්‍ය කතාවක් මත ගොඩනැගුණු සිනමා පටයේ නම තමයි Gran Turismo. මෙතැන ඉන්නවා යම් අරගලයක දිවි ගෙවන කම්කරු පන්තියේ දෙමාපියනට දාව හැදී වැඩෙන​ අති දක්‍ෂ පරිගණක ක්‍රීඩකයෙක්. ඒ වගේම අසාර්ථකත්වයට පත් වෙලා ඉන්න හිටපු වෘත්තීමය රේසින් කාර් රියදුරෙක් සහ අවධානම් සහගත තීරණ ගන්න රුචිකත්වයක් දක්වන නවමු අදහස් වලින් පිරුණු සුපර් කාර් ක්‍රීඩා අංශයේ විධායක නිලධාරියෙක්. මේ dots තුන එකිනෙකට​ සම්බන්ධ වන ආකාරය පිළිබඳව අපි ඉදිරියට කතාබහ කරගෙන යමු.

බ්‍රිතාන්‍යයේ ජීවත්වෙන  Jann Mardenborough කියන තරුණයාගේ ප්‍රියතම විනෝදාංශය තමයි මේ Gran Turismo කියන ගේම් එක play කරන එක​. Playing Hours ගත්තොතින් විශාල ප්‍රමාණයක් ඔහුගේ ගිණුම යටතට එකතු වෙලා තිබෙනවා. ගේම් එක ඇතුලේ laps ගැන, වේගය නිසියාකාරව පාලනය සහ අනෙක් කාර් රථ අභිබවා යාම වගේ දේවල් ඒ නිසාම ඔහුගේ සුවිශේෂී හැකියාවන් බවට පත් වෙලා තිබෙනවා කීවොතින් නිවැරදියි. ඔහුගේ පියාට නම් Jannගේ මේ විනෝදාංශය රුස්සන්නේ නැහැ. පියා වෙන​ Steve Mardenborough බාල සහෝදරයාත් සමග ෆුට්බෝල් සෙල්ලම් කරන්න යන්න Jannව එකතු කර ගන්න උත්සාහ කලත් ඒ සියල්ල ව්‍යර්ථ වෙනවා. මේ ගේම් එකෙන් සහ රේසින් කාර් වලින් තමන්ගේ ජීවිතය කවදමහරි ගොඩදා ගන්න පුළුවන් කියන විශ්වාසයෙනුයි ඔහු ඉන්නේ.

මේ කාලයට සමගාමීවම Nissan Car Company එක​ Sony PlayStation සමග එකතුවෙලා GT car competition එකක් අරඹනවා. ලෝකයේ හැම රටකම ඉන්න හොඳම GT Pro Players ලා දස දෙනෙක්ව මේ සඳහා තෝරගෙන ඒ අතරිනුත් හොඳම කෙනාව Professional Racer කෙනෙක් කිරීමයි මොවුන්ගේ අරමුණ​. බැලූ බැල්මටම මේක විකාර සහගත අදහසක් කියලා ඔයාලට හිතෙනවනම් ඒකෙ වරදක් නැහැ. මොකද සිනමා පටය ඇතුලෙත් දෙබස් ගණනාවක්ම මගිනුත් මේ අදහස අභියෝගයට සහ සමච්චලයට ලක් කරලා තිබෙනවා. තමන්ගේ නිදන කාමරයෙ ඉඳන් හරි ගේමින් හට් එකක් හරි ඇතුලේ ඉඳගෙන තිරයක් ඉස්සරහා කාර් රථයක් ධාවනය කලාට සැබෑ ජීවිතයේදී සුපර් කාර් එකක් පැයට කිලෝමීටර් 300කටත් වඩා වේගයෙන් ධාවනය කරන අභියෝගය ඔවුන්ට බාර ගන්න පුළුවන් වෙයිද​?

මේ පිස්සු අදහස යථාර්තයක් කර ගන්න ලිපියේ මුලදී සඳහන් කරපු නව අදහස් වලින් පිරුණු සුපර් කාර් ක්‍රීඩා අංශයේ විධායක නිලධාරියා ජපානයට යනවා Nissan Car Company එකේ ඉහල නිලධාරීන්ව මුණගැසෙන්න​. ඔහුගේ මේ අදහස අහලා එකවරම ප්‍රතිචාරයක් නැති තැන අපේ මේ අමුතු අදහස් තියෙන නිලධාරියා වෙන Danny Moore පිටත් වෙන්න සූදානම් වෙනවා. හැබැයි ගොඩනැගිල්ලෙන් පිටවෙන්න ඔන්න මෙන්න තිබෙද්දී ඔහුගේ මේ අදහසට Nissan Company එකේ ඉහල පෙළෙන් අනුමැතිය ලැබෙනවා.​ එතැනින් ඉදිරියට ක්‍රීඩකයන්ව තෝරා ගන්නා විදිහ​, සැබෑ කාර් රථ පැදවීම වෙනුවෙන් ඔවුන්ව පුහුණු කරන ආකාරය සහ මේ පිරිසෙන් දක්‍ෂතම පුද්ගලයාව තෝරා ගන්න ඔවුන් කරන කැපකිරීම ඉතාම රසවත්.

මේ සිනමා නිර්මාණයේ අධ්‍යක්‍ෂක​වරයා වෙන Neill Blomkamp හට උවමනා වෙන්නේ Jann Mardenborough ඔහුගේ මේ professional රේසර් කෙනෙක් වන ගමන් මාර්ගය ආරම්භ කරද්දී මුහුණ දෙන්න වුණු අත්දැකීම්, රසබර තැන් වගේම පීඩනයට මුහුණ දුන්නු ආකාරය වගේ සියල්ලම අලලා Movie එකකට ගැලපෙන ආකාරයට ගෙනහැර පෑම​. ඇත්තෙන්ම කියනවනම් එම උත්සාහය ඉතාමත්ම සාර්ථක වෙලා තිබෙනවා. ඔබත් Racing Cars වලට උනන්දුවක් දක්වන කෙනෙක් නම්  Gran Turismo Movie එක අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි කියන එකයි මගේ අදහස​. පැය දෙකකුත් මිනිත්තු 14ක් පුරාවට දිවෙන මේ නිර්මාණය රස විදිද්දී ඔබට අලසකමක් ඇති නොවන බවටත් සහතික වෙන්නම පුළුවන්. ඒකට හේතුව තමයි Movie එකේ Screen Play එක​.

ආශ්වාදජනකම කොටස් වලදී නිර්මාණය ඇතුලේ Game Elements Present කරල තිබෙන විදිහත් හරිම රසවත්. Climax Racing Scene එකේදී කාර් එක පදවන ගමන්ම Jannට තමන් තමන්ගේ නිදන කාමරයේ ඉඳන් Game Play එකක් සිදු කරන විදිහේ අපූරු Transition එකක් සිදු වෙනවා. තමන් සිහිනයකින් යථාර්තයට ගමන් කලා වගේ හැගීමක් මේ අත්දැකීම් වලට මුහුණ දුන්නු සැබෑම Racerටත් අනේකවර දැනිලා ඇති. මේකෙදි VFX බොහොම අඩුවෙන් යොදාගන්නත් VFX ඇතුලත් කරපු Scence ඉතාම​ Realistic විදිහට ගෙන එන්නත් නිර්මාණකරුවන් කටයුතු කරලා තිබෙනවා. මොකද සැබෑම රේස් ට්‍රැක් වලට ගිහින් මේ ක්‍රියාන්විත දර්ශණ ටික ෂූට් කරගන්න ඔවුන් විශාල වෙහෙසක් දරලා තිබෙනවා. ලෝකය පුරාම තිබෙන විවිධ වූ රේසින් ට්‍රැක්ස් වල කර තිබෙන​ රූගත කිරීම් ඔබව සැබෑම රේස් එකක් නරඹන අත්දැකීමකට ගෙනයනවාට නම් සැක නැහැ.

Camera Angels බොහොමයකින්ම ඒ ඒ දර්ශණ, විශේෂයෙන්ම Racing Shots ලබා ගන්න සිදු කරලා තිබෙන මහන්සිය ඔබට පෙනීයාවි.​ මේ නිර්මාණයේ අනෙක් පුදුම සහගත දේ වෙන්නේ Car Game එක​ තමන් විසින් Play කරනවාද වගේ හැගීමක් විටෙකදී දැනෙන එක​. Car Roof එක අසලින් කැමරා ස්ථානගත කරලත් සමහර දර්ශණ රූගත කරලා තිබෙන නිසා Gaming Vibe එකක් නිරායාසයෙන්ම​ ප්‍රේක්‍ෂකයාට දැනෙනවා කියන්න පුළුවන්. සිනමා පටයේ අවසානය වෙතට ලගා වූවහම මේ සැබෑම චරිතය කවුරුන්ද කියන එක ඔබට දැක බලා ගන්නට පුළුවන් වගේම නිර්මාණයේ තිබෙන බොහොමයක්​ Stunts සඳහා දායක වෙලා තිබෙන්නෙත් සැබෑ Racerමයි. 

Jann ගේ චරිතයට පණ පොවන Archie Madekwe ගේ රංගණ කුසලතාවය සැබවින්ම අගය කල යුතුමයි. මොකද​, සත්‍යය චරිතය සහ Archie වත් අපට එක් අවස්ථාවකදී පටලැවෙන නිසා. ඒ වගේම අනෙක් විශිෂ්ඨතම රංගණ දායකත්වය මේ නිර්මාණය වෙනුවෙන් ලබා දෙන්නේ David Harbour. ප්‍රධාන චරිතය හොබවන තරුණයාට පුහුණුව ලබාදෙන Racing Coach නැතිනම් මුලදී සඳහන් කරපු අසාර්ථකත්වයට පත් වෙලා ඉන්න හිටපු වෘත්තීමය රේසින් කාර් රියදුරා තමයි මේ. සිනමාපටය ඇතුලතදී නම් ඔහුව හඳුන්වන්නේ Jack Salter කියන නමින්. Jack තරුණයාව කියවා ගන්නා ආකාරය සහ ඔහුව දිරිමත් කරන ආකාරය සිනමාපටය රස විඳලම පසක් කරගන්න මම ඔයාලට ඉඩ තබනවා..

අවසාන වශයෙන් ගත්තොත් Gran Turismo කියන්නේ කාලෙකට පස්සේ රිලීස් වුණු ඉහළම ඝනයේ Sports Movie එකක්. IMDB ශ්‍රේණිගතකිරීම් වල 7.2/10 වගේ ඉහළම අගයක් සටහන තබන මොහොත වෙද්දී Gran Turismo හිමිකරගෙන තිබෙනවා. මෙම සිනමා පටයේ තිර රචනය සඳහා දායක වෙන්නේ Jason Hall, Zach Baylin සහ​ Alex Tse. 

Djimon Hounsou, Darren Barnet සහ​ Geri Horner වගේ අනෙකුත් අතිදක්‍ෂ නළු නිළියන්ගෙන් හැඩවෙන සිනමා පටයේ පූර්ව ප්‍රචාරක පටය ඔයාලට පහතින් රසවිඳින්න පුළුවන්. Ceylon Journal වෙතින් ගෙන එන Movie Review එකක් හරහා නැවත දිනයක​​ හමුවෙමු!

ඔබට සුභ දවසක්!

Tags