සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

හතරවැනි වරටත් රග්බි ලෝක කුසලානය දිනන්නේ කවුද?

මේ සෙනසුරාදා පාන්දරට රග්බි ලෝක කුසලානයේ ලෝකඩ පදක්කම වෙනුවෙන් ආජන්ටිනාව සහ එංගලන්තය තරග වදිනවා. ඒක වෙන්නෙ හිතාගන්න බැරි තරං බොළඳ විදියට තමුන්ගෙ අවසන් පූර්ව තරගය ඕල්බ්ලැක්ස් හමුවේ පරාජය වුණු ආජන්ටිනාවට, නොසිතූ ලෙස ප්‍රබල එංගලන්තය එකතු වීම නිසා. එංගලන්ත දකුණු අප්‍රිකා තරගයෙ පළමු අර්ධය නිමාවෙද්දි වැඩිම මනාපයෙන් ඉස්සරහින් හිටපු එංගලන්තයට ගොඩක් දෙනෙක් ඔට්ටු අල්ලලා තිබුණෙ. ඒත් දෙවැනි අර්ධයේදි මාරුකරපු ෆ්ලයිහාෆ් පොසිෂන් එකේ හන්ද්‍රෙ පොලාඩ් විසින් අන්තිම මොහොතෙ ආපු පැනල්ටි චාන්ස් එක ගොඩ දාගන්නෙ එක ලකුණකින් ප්‍රබල එංගලන්තය අබිභවන ගමන්. ඒ නිසාම මේ වතාවෙ රග්බි ලෝක කුසලානයේ අවසන් තරගයට සෙල්ලං කරන්නෙ දැනට තුන් වතාව ගානෙ ලෝක කුසලානය දිනලා තියෙන දකුණු අප්‍රිකාව සහ නවසීලන්තය විසින්.

කරට කර

දෙපිළම Webb Ellis Cup එක තුන් වතාව ගානෙ දිනලා තියෙනවා. අන්තිම වතාවෙ(2019)  කුසලානෙ දිනුවෙ දකුණු අප්‍රිකාව. ඊට කලින් වතාවෙ(2015) කුසලානෙ දිනුවෙ නවසීලන්තය. දෙපිළම අවසන් තරගයකදි අන්තිම සහ එකම වතාවට මුණගැහිලා තියෙන්නෙ 1995දි. ඒ දකුණු අප්‍රිකාවෙම ජොහැන්නස්බර්ග්වලදි. ඒ වතාවෙ තමුන්ගෙ රටේදිම කුසලානෙ දිනාගන්න දකුණු අප්‍රිකානුවන්ට පුළුවන් වුණා. ඒකත් ලකුණු පහළොවට දොළහක් විදියට ගිය තියුණු තරගයක්. ඒ නිසා මේ වතාවෙ ප්‍රංශ​යෙ ශාන්ත ඩෙනිස් හී පැවැත්වෙන අවසන් මහා තරගය අතිශය තරගකාරී වගේම ප්‍රවේගකාරී වේවි.

ඒ වගේම ඊට කලින් දවසෙ ස්ටේඩ් ඩි ෆ්‍රාන්ස් හිදී පැවැත්වෙන ලෝකඩ පදක්කමට තරගයක්. ඒ පහුගිය පාපන්දු ලෝක කුසලානය දිනපු ආජන්ටිනාවත් එක්ක තරගයට එන සිවුවතාවක් රග්බි ලෝක කුසලානයේ අවසන් තරගයට ගිහින් එක් වතාවක් ජය ගත්තු ප්‍රබල එංගලන්තය සමග. හැමෝම මේකෙදි නං ඉන්නෙ එංගලන්තෙ පැත්තෙ. නමුත් අපි නං කියන්නෙ ආජන්ටිනාව සුළුකොට තකන්න එපා කියලා. නවසීලන්තය හමුවේ පසුබැහැපු විදියේ කේන්තියත් එක්ක ඔවුන් ලැජ්ජාව යන්න ලොකු ගේමක් දෙන්න ඉඩ තියෙනවා.

1995දි මොකද වුණේ?

Springboks unite a nation: RWC 1995 final - YouTube

ලෝක කුසලාන අවසන් මහා තරගයට කිසිසේත්ම අදාළ නැතත් අපි 1995දි මොකද්ද වුණේ කියලා දැනගෙන ඉන්න එක හොඳයි. යම් ඉතිහාසයක් දැනගෙන මේ උත්කර්ෂවත් තරගය බලන්න එතකොට අපිට පුළුවන්. කණ්ඩායම් දෙකට තරමක විරසකයක් තියෙනව ඉතිං. එකක් අප්‍රිකාවෙ පහළම පුංචි තිතක්. අනික ලෝකෙ එහා කොණේ දූපත් ටිකක්. පළමු ලෝක කුසලානය දිනන්නෙ නවසීලන්තය විසින්. තුන්වැනි ලෝක කුසලානයේ ඉඳන් තමයි දකුණු අප්‍රිකාව කරළියට එන්නෙ. මොකද ඔවුන්ට මුල් කුසලාන දෙකටම අවස්ථාවක් හිමිවෙන්නෙ නෑ, ඔවුන්ගේ ක්‍රීඩා තහනමක් නිසා. නමුත් තෙවැනි කුසලානයේ සත්කාරක රට විතරක් නොවී එහි ශූරයන් වෙන්නටත් දකුණු අප්‍රිකාවට හැකි වෙනවා. තරගය දිනන්නේ අමතර කාලයකටත් ගියාට පස්සෙ. තරගයේ නියමිත කාලය ඉවර වෙද්දි කිසිම ට්‍රයි එකක් සළකුණු වෙලා තිබුණෙ නෑ. නමුත් ඒ වෙද්දි දකුණු අප්‍රිකාවට ලොකු බයක් තිබුණා. ඒ ජොනාහ් ලෝමු නවසීලන්තයට ක්‍රීඩා කරපු නිසා. ඔහු අවසන් තරගයට ආවෙ අවසන් පූර්ව තරගයෙදි එංගලන්තයට ට්‍රයි හතරක් තියලා. කොහොම හරි තරගයට දීපු අමතර කාලයෙදි ස්ට්‍රැන්ස්කිගෙ ඩ්‍රොප් ගෝලය දකුණු අප්‍රිකාවට වෙබ් එලිස් කුසලානය දිනා දෙනවා.

දකුණු අප්‍රිකානු විද්‍යාඥයා

Rassie Erasmus given two-match ban for social media posts - Irish Mirror  Online

අපි දැන් කතා කරන්න යන්නෙ රසී ඉරැස්මස් ගැන. එයා කියන ක්‍රමේට එහෙ එයාලා කියන්නෙ The move කියලා. එංගලන්තය දිනාගෙන එද්දි දකුණු අප්‍රිකාවට මොළේ දෙන්නෙ මේ විද්‍යාඥයා. රසී ඉරැස්මස් තමයි දකුණු අප්‍රිකාවේ රග්බි අධ්‍යක්ෂක. ඉස්සර නං ක්‍රීඩකයෙක්. ඊට පස්සෙ පුහුණුකරු. දැන් අධ්‍යක්ෂක. සාමාන්‍යයෙන් විශාල තරගයක් ගැන කතා කරද්දි අපි කතා කරන්නෙ දක්ෂතම ක්‍රීඩකයෙකු ගැන වුණත්, එක වගේ දක්ෂ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අපිට කතා කරන්න තියෙන්නෙ ඔවුන්ගෙ අධ්‍යක්ෂක ගැන. හන්ද්‍රෙ පොලාඩ් පැනල්ටිය ගැහුවම කෝචිං බොක්ස් එකේ ඉඳගෙන ඉරැස්මස් දාපු හිනාව දකින ඕන කෙනෙකුට ඒ පැනල්ටිය වෙනකං මේ කතාව ඇදගෙන ආපු ගේම කාගෙද කියලා තේරෙනවා. ඉරැස්මස් හදපු සොෆ්ට්වෙයා එකක් තියෙනව. ඒකෙ නම අවුට්ෆොක්ස්. Outfox එකේ වැඩේ තමයි කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ගේම් ප්ලේ එක වඩා පහසුවෙන් සහ ඉක්මනින් කියලා දෙන එක. ඉතිං මේ තරුණ ජවසම්පන්න කොල්ලො අතරෙ දකුණු අප්‍රිකාවෙ අමාරුකාරයා වෙන්නෙ අවුරුදු පනහක් වයසක මේ මනුස්සයා තමයි.

දකුණු අප්‍රිකානු ප්‍රධාන පුහුණුකරුවා මේ වෙද්දි ඔවුන්ගේ කණ්ඩායම එළියට දාලා ඉවරයි.

    1 Steven Kitshoff

    2 Mbongeni Mbonambi

    3 Frans Malherbe

    4 Eben Etzebeth

    5 Franco Mostert

    6 Siya Kolisi (c)

    7 Pieter-Steph Du Toit

    8 Duane Vermeulen

    9 Faf de Klerk

    10 Handre Pollard

    11 Cheslin Kolbe

    12 Damian de Allende

    13 Jesse Kriel

    14 Kurt-Lee Arendse

    15 Damian Willemse

අතිරේක ක්‍රීඩකයන්:

    16 Deon Fourie

    17 Ox Nche

    18 Trevor Nyakane

    19 Jean Kleyn

    20 RG Snyman

    21 Kwagga Smith

    22 Jasper Wiese

    23 Willie Le Roux

Rugby World Cup 2023: South Africa's list with some notable absentees -  Sport News Africa

  • ප්‍රධාන පුහුණුකරුවා එක ලකුණෙන් දිනපු සෙමියේ හිටපු කණ්ඩායමට වඩා වෙනස්කම් පහක් කරලා තියෙනවා. මුල් 15දෙනාගේ වෙනස්කම් 2ක් සහ අතිරේක ක්‍රීඩකයන්ගේ වෙනස්කම් 3ක් ඒ අතර තියෙනවා.

  • Faf de Klerk සහ Handre Pollard ආයෙත් half-back තැන එක්ව සෙල්ලං කරනවා. ඒ ඔවුන් එක්ව තරගය අරඹන 25 වැනි වතාව. නවසීලන්තයට එරෙහිව එක්වෙන අටවෙනි වතාව.
  • 2019 හිටපු ජයග්‍රාහී කණඩායමේ ක්‍රීඩකයන් විදියට හිටපු 10 දෙනෙක්ම මේ ෆයිනල් එකටත් ගෙනල්ලා තියෙනවා.

නවසීලන්තයෙන් මුල් තැන් තුනක්

2023 Rugby World Cup final: Who is playing? When is New Zealand v South  Africa? All you need to know - Eurosport

නවසීලන්ත කණ්ඩායමේ ඔබේ අවධානය යොමු විය යුතු ක්‍රීඩකයන් තුන්දෙනෙක් සිටිනවා. ඒ ආජන්ටිනාව සමග හැට්‍රික් එකක් වාර්තා කළ විංගර් කෙනෙකු වෙන විල් ජෝඩන්. ඔහුගේ ස්ට්‍රයික් රෙට් එක ඉතා ඉහළයි. ඒ වගේම අමතක කරන්න බැරි ජෝඩි බැරට්. හිතාගන්න බැරි විදියට සෙල්ලං කරන බැරට් ස්ප්‍රිංබොක්ස්ලට මේ තරගෙ ලේසි කරන්නෑ කියන එක විශ්වාසයි. ඊළඟට ලෝකයේ අංක එකෙ හුකර් කෙනෙක් වෙන කෝඩි ටේලර්. ඔහුගේ හැකියාවන් සමකරන්නට අතිශය අපහසුයි.

සටහන ලියා තබන මොහොත වන විට නවසීලන්ත කණ්ඩායම නිකුත් කර තිබුණේ නැතත්, අප ඔවුන්ගේ අතිදක්ෂ යක්ෂයින් යැයි නම් කරන ක්‍රීඩකයන් තුන්දෙනා නම් අනිවාර්යෙන්ම මුල් පහළොවට එක් වන බව නම් නොරහසක්.