සොයන්න
උණුසුම් පුවත්

උණුසුම් පුවත්

වංචනික ලෙස උපයා විදේශයන් හි තැන්පත් කළ​ වත්කම් යළි අයකර ගැනීමට පියවර​.

වංචනික ලෙස වත්කම් උපයාගෙන විදේශ රටවල තැන්පත් කර ඇති පුද්ගලයන්ගෙන් අදාළ​ මුදල් අයකර ගැනීමට අවශ්‍ය සහය ලබාදීමට එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශය​ (UNODC) එකඟ වූ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පවසා තිබේ. අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ දකුණු ආසියානු කලාපීය නියෝජිත Marco Teixeira සමඟ සඳුදා දින (04) අධිකරණ අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුවය​.

අධිකරණ අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ වංචනික ලෙස වත්කම් උපයාගත් පුද්ගලයින් විදේශ රටවල තැන්පත් කර ඇති මුදල් නැවත ලබා ගැනීමේ අදාළ කටයුතු ඉදිරි දින කිහිපයේදී ආරම්භ කරන බවයි. එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්‍යාංශය විසින් ද මෙම කටයුත්ත සඳහා ලෝක බැංකුව වෙනුවෙන් අවශ්‍ය​ කටයුතු සම්පාදනය කරනු ඇතැයි ද ඔහු විසින් කරුණු දක්වා ඇත​.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නව දූෂණ මර්දන පනත සැප්තැම්බර් 15 වැනිදා සිට ක්‍රියාත්මක වන බැවින් එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හැකියාව ලැබෙනා බවය​. ඒ අනුව​ ලෝක බැංකුව සහ UNODC එකමුතුව භාවිතා කරන Stollen Asset Recovery Assistance (StAR) ක්‍රමය මගින් සොරාගත් වත්කම් නැවත අයකර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවට දක්වා ඇත​.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ මූල්‍ය මධ්‍යස්ථාන සමඟ කටයුතු සිදුකරන (StAR) ක්‍රමවේදය මගින් දූෂණයෙන් උපයා ගත් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට සහ සොරකම් කරන ලද වත්කම් වඩාත් ක්‍රමානුකූලව සහ කාලෝචිත ලෙස ආපසු ලබා දීමට අවශ්‍ය යාන්ත්‍රණය සලසා දෙනු ලැබේ.

 

Tags