උණුසුම් පුවත්
ක්‍රීඩා ඇමතිගේ නියමය සහ ක්‍රිකට් රසිකයින්ගේ බලාපොරොත්තුව.

ඊයේ දිනයේදී (03) ක්‍රීඩා අමාත්‍යවරයා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනු ලැබුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් වන වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් තේරීම් කමිටුව විසින් බාරගත යුතු බවත්, දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පෙර වගකිවයුත්තන් කඩිනමින් ඉල්ලා අස්විය යුතු බවත් ය.
මෙකී පරාජයන්හි වගකීම කිසිදු ක්‍රීඩකයෙකු හට පැවරිය නොහැකි වන අතරම වසර 04 ක් පුරා තේරීම් කටයුතු සිදු කළ තේරීම් කමිටුවත්, අවිධිමත් ක්‍රිකට් පරිපාලනයක යෙදෙන ක්‍රිකට් විධායක කමිටුවත් භාර ගත යුතු වන බවයි අදාළ නිවේදනය මගින් ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වා දෙනු ලබන්නේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තම පුද්ගලික අභිලාෂයන් මත ගත් තීරණ ලෝක කුසලාන තරගාවලිය මෙලෙස පරාජය වීමට හේතු වූ බවට පෙන්වා දෙන අතරම, LPL තරගාවලිය අතරවාරයේදී ආබාධයට ලක්වන ලංකාවේ ප්‍රධානතම දග පන්දු යවන්නා වන වනිදු හසරංගට ලෝක කුසලාන තරගාවලියම අහිමිවූ බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
සමස්ථ ක්‍රීඩාව හා ක්‍රීඩා ලෝලීන් පිළිබඳව සිතා සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනයෙන් ඉවත් නොවී බහිරවයන් සේ නොසිට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතු බවට අවධාරණය කරන බවද අමාත්‍යවරයා එම නිවේදනය අවසානයේ දක්වා ඇත.
මේ අතර අද (04) පෙරවරුවේ වාර්තා වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට කටයුතු කර ඇති බවය. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට රැස්වූ ක්‍රීඩා ලෝලීන් පිරිසක් ද මෙම ගැටළු සඳහා අදාළ බලධාරීන් විසින් කඩිනම් විසඳුම් සැපයිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍යවරයාට ඒ සඳහා තීරණයක් ගැනීමට සඳුදා දින (06) පෙරවරුව දක්වා කාලය ලබා දෙන බවත් ප්‍රකාශ කරනු ලැබීය.