සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

කසාද බඳින්න කලින් ලිවින් ටුගෙදර් කරන එක කොයිතරම් වැදගත්ද?

දැන් කාලෙ අවිවාහක තරුණයොන්ට සහ තාරුණ්‍යය පසු කරමින් සිටින අයට සාමාන්‍යයෙන් නිතර දෙවේලේ උත්තර දෙන්න වෙන ප්‍රශ්නයක් තමයි කවදද කසාද බඳින්නෙ? කියන එක. ජීවිතේ තමුන් නොවෙන කෙනෙකුගේ වැදගත්ම තීරණයක් ගැන අනිත් අයට හදිස්සි කරන්න හෝ විචාරන්න අයිතියක් නෑ කියන කතාව පැත්තකින් තිබ්බොත් මෙන්න මේ කසාදය කියන එක හොඳට හිතලා කරන්න ඕන දෙයක්. මොකද නීතියෙන් බැඳෙන වගකීමට තමුන්ගෙ පැත්තෙන් වගවීමක් තියෙන්නෙ එතකොටනෙ. අන්න ඒකට උදව් වෙන දෙයක් තමයි ලිවින් ටුගෙදර් කියන්නෙ. අවුරුදු ගානක් ආදරේ කරලා ගන්නවාට වඩා කසාද ජීවිතය ගැන අත්දැකීමක් මාස කිහිපයක් ලිවින් ටුගෙදර් ඉඳලා අරගන්න පුළුවන්. එපා නම් අයින් වෙන්න පුළුවන්.

 

දෙන්නාගේම කැමැත්තෙන්

ලිවින් ටුගෙදර් ක්‍රමය ලංකාවේ ඒ තරම් ප්‍රසිද්ධ හෝ ජනප්‍රිය නෑ. ඒකට අපේ සංස්කෘතියත් එක්ක බැඳුනු බාධක ගණනාවක් තියෙනවා. ඒ වගේම කොයිතරම් ප්‍රේම කරන දෙන්නෙක් වුණත්, අනෙකා මත ඇති විශ්වාසය වගේම පවුල් තත්ත්ව මත මේ දේවල් තීරණය වෙනවා. ඒ නිසා දෙදෙනාගේ කැමැත්තෙන් සහ එකඟත්වයෙන් තොරව අනෙකාගේ බල කිරීමට හෝ හිත හදන්න තියෙන උවමනාවට ලිවින් ටුගෙදර් ක්‍රමයට ජීවත් වීම තරමක නරක කැළලක් විදියට හිතේ රැඳෙන්නත් ඉඩ තියෙනවා.

 

කැමති අකමැති

අපි හැමෝම ශරීරයෙන් බද්ධ නොවුණු මිනිස්සු නිසා අපිට අපේ විදියේ කැමති අකමැති කම් එමට තියෙනවා. අන්න ඒ දේවල් සාමාන්‍ය ප්‍රේම සම්බන්ධයකින් දැනගන්න ලැබෙන තරම අවමයි. නමුත් දින කිහිපයක් පුරාවට එකම නිවසක කල් ගත කරද්දි මේ දේවල් ගැන හොඳ වැටහීමක් අපිට ලැබෙනවා වගේම අනෙකා වෙනුවෙන් අපිට නම්‍යශීලී විය හැකි තැන් සහ ආදරය මත කළ හැකි කැපකිරීම් අපිට වටහාගන්නට හැකි වෙනවා. මේ දේවල් එක්ක එකිනෙකාට එකිනෙකා කෙ​රේ එකඟ නොවෙන්නට හැකි තැන් ගැන කතා කරන්නට වගේම, නොහැකියි යැයි සිතන මොහොතක ඉවත් වෙන්නටත් හැකියාව තියෙනවා.

 

සෙක්ස්

මනුස්සයෝ අත​රේ එකිනෙකා කෙරෙහි තියෙන මූලික හැඟීම් වලින් ලිංගික ආශාවන් සහ හැඟීම් මුල් තැනක් ගන්නවා වගේම කසාද ජීවිතවල බැඳීම් වැඩි වෙන්න වගේම කසාද ජීවිත දෙදරා යන්නත් මේ සෙක්ස් ගැන දෙපාර්ශවය දරණ අදහස් හේතු වෙනවා. මේ දේ සතියකට වතාවක් පෙම්වතියක් එක්ක හොරෙන් හොරෙන් හෝටල් කාමරයක යහන්ගත වෙලා තේරුම් ගන්න පුළුවන් යථාර්ථයක් නෙමෙයි කියන එක පෙම්වතුන් සමයේදී පිළිගන්න අකමැති වුණත්, ඒක තමයි ඇත්ත. ඒ නිසා තමුන්ගේ සෙක්ස් ලයිෆ් එක, සෙක්ස් ඩ්‍රයිව් එක, පොසිෂන්ස්, ආරක්ෂාව, අදහස්, දෙදෙනා තුළ ඇති රසායනය හොඳටම මැණ බලන්න පුළුවන් වෙන්නෙ ලිවින් ටුගෙදර් හිටියොත් තමයි.

 

අපිත් නොදන්න දේ

අපි දන්නවා අපි කැමති තේවලටද කෝපිවලටද කියලා. ඉතිං අපි ආදරය කරන කෙනාට අපිට ඒක වචනයෙන් කියන්න පුළුවන්. එයා කැමති දේ වචනයෙන් අහගන්නට පුළුවන්. නමුත් අපිට අපි කැමතිද අකමැතිද කියන එකවත් තේරුම් ගන්න අපහසු සමහර දේ තියෙනවා. එකිනෙකාගේ පුරුදු අපිව කොයිතරම් අපහසුතාවයට පත් කරනවාද? ඇතැම්විට සාමාන්‍යයෙන් අපිළිවෙල පුද්ගලයෙක් තමන් අපිළිවෙලයි කියන එක නොදන්නවා වෙන්නට පුළුවන්. ඒ ගැන ඔවුන් ඔබට නොපවසන්නේ ඔවුන් නොදන්නා නිසා වෙන්න පුළුවන්. සමහරවිට ඔබ ස්වභාවයෙන්ම පිරිසිදුකම ගැන එතරම් නොහිතන කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් එය ඔබ නොදන්නවා හෝ නොපිළිගන්නවා වෙන්න පුළුවන්. මේ දේවල් තේරුම් ගන්න නම් ලේසි ම විදිය ලිවින් ටුගෙදර් ක්‍රමයයි.

 

එයාගෙ විදිය

අපි සමහර වෙලාවට අපි ආදරය කරන කෙනා නිසා බොහෝ දේ වෙනුවෙන් හුරුවෙනවා. ඇතැම් විට හුරු වෙනවාටත් වඩා තමුනුත් ඒ දේට එළෙසින්ම කැමතියි කියා පෙන්වනවා. මේ පෙන්වීම සාමාන්‍ය ආදර සම්බන්ධයකදී පෙන්වාගෙන සිටිය හැකි වුවත්, නිතර දෙවේලේ ළඟින් සිටියදී මවාපාන්නට අපහසු තත්ත්වයක්. ඒ නිසාම අනෙකාගේ විදිය තේරුම් ගන්න මේක හොඳ ක්‍රමයක්. ඉක්මනින් කේන්ති යන කෙනෙක්ද? පුද්ගල ආශ්‍රයට අකමැති කෙනෙක්ද? නිතරම ට්‍රැවල් කරන්න කැමති කෙනෙක්ද? ගෙදරට වෙලා ඉන්න කැමති කෙනෙක්ද? උග්‍ර මත්පැන් පානය කරන්නෙක්ද? මානසික ව්‍යාධියකින් පෙළෙන කෙනෙක්ද? විදේශයක ජීවත් වෙන්න කැමති කෙනෙක්ද? මවුරට දාලා යන්න අකමැති කෙනෙක්ද? කියන හැමදේම මේ විදියෙන් තේරුම් ගන්න පුළුවන්. මේක සාමාන්‍ය පුද්ගල කැමත්තට එහා ගිය ජීවන රටාවක කොටසක් නිසා, මෙය විවාහ ජීවිතයට සූදානම්වන ඔබට ඉතා වැදගත්.

 

කොහොමින් කොහොම හරි ලංකාව ඇතුළෙදි ලිවින් ටුගෙදර් කරලා තමුන්ගේ විවාහය ගැන නිසි තීරණයක් ගන්නට අවස්ථාව ලැබෙන්නේ හරි ම සුළුතර වාසනාවන්තයින් පිරිසකට විතරයි. ඒ නිසා අවස්ථාවක් ලැබුනත් නොලැබුනත් විවාහයට සූදානම් වෙන කෙනා එක්ක මේ ගැන කතා කරලා බලන්න අමතක කරන්න එපා.

 

Tags