සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

බලශක්තිය සුරකින්න ලේසි ජීවිතයකට හුරුවෙන්න

ලංකාවෙද ලෝකෙද ඔබ ජීවත්වෙන්නෙ කියලා බේධයක් නැතුව අපිට බය වෙන්න සිද්ධ වෙලා තියෙන ප්‍රශ්නයක් ගැනයි මේ ලියන්න යන්නෙ. පහුගිය කාලෙ අපි අත්දැකපු විශාල ගෑස් පෝලිම්, ඉන්ධන පෝලිම්, දීර්ඝ විදුලි කප්පාදු දැන් දැන් සමනය වෙලා කියලා හිතට හිතුනට ඇත්තටම එහෙම නෑ සහ මේක ලෝකය පුරාම මුහුණ දෙන ප්‍රශ්නයක් විත්තිය දැන් අපි හැමෝම දන්න දෙයක් වෙලා. ඉතිං බලශක්තිය සුරකින්න නං අපිට ලේසි පහසුවෙන් ජීවත් වෙන්න සිද්ධ වෙනවා. එහෙම කිවුවම සැහැල්ලුවක් දැණුනට මේ ලේසි පහසුව කියන්නෙ අපි සාමාන්‍යයෙන් අත්දකින ලේසි පහසුව නෙමෙයි. මේ කියන්න යන්නෙ ඉන්ධන අර්බුදයක් තියෙන කාලෙක විතරක් අත්හදාබලන්න ඕන දේකුත් නෙමෙයි. මේ තුන් කාලයටම වැදගත් වැඩක්. මේ කරන කැපකිරීම අපිට වර්තමානයේදී වගේම අනාගතයේදිත් වාසි ගෙන එන දෙයක්. ඒ ඇයි කියලා මේ සටහන ඉදිරියට කියවද්දි ඔබට වැටහේවි.

 

Sustainable living

අපි මේ කියන්නෙ තිරසාර බව ගැන. එහෙමත් නැත්නම් ඉංග්‍රීසිවෙන් කිවුවොත් Sustainable living. Sustainable living කියන්නෙ ගෑස් නැති කරන්ට් අඩු කාලෙක ජීවත් වෙන හොඳම විදිය නෙමෙයි. තිරසාර බව නොහොත් Sustainable living කියන්නෙ අපි පෘථිවිය විසින් අපට ලබා දෙන සම්පත් වඩා අවම වශයෙන් පරිභෝජනය කරමින් ජීවත් වෙන්නෙ කොහොමද කියන එකට හොඳ පුහුණුවක්. මේකට විදි ගොඩක් තියෙනවා. එකක් තමයි අපේ බල ශක්ති පරිභෝජනය අවම කිරීම. අනික පරිසර හිතකාමී නිෂ්පාදන වෙනුවෙන් හුරු වීම. තවත් කරන්න පුළුවන් දෙයක් තමයි ප්‍රතිචක්‍රීකරණය කිරීම. ඒ වගේම අපේ ආහාර රටා වෙනස් කරගැනීමත් අපිට කරන්න පුළුවන්. 

කෙටියෙන් කිවුවොත් පොළොවට අඩුවෙන් බරක් වුණානං ඇති. එහෙම කරන්න ඕන ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අපි මේ දැන් ඉන්න අර්බුදය ඩොලර් නැති ප්‍රශ්න නිසා මුහුණ දීපු දෙයක් වුණත්, අපිට මුලින් ඉඳන් ම වැරදුනු තැනක් තිබුණා. ඒ තැන හරිගස්සගන්නයි මේ උත්සාහය.

 

අවම පරිභෝජනය

බල ශක්තිය අඩුවෙන් පාවිච්චි කරන තරමට කාබන් විමෝචනය අවම වෙනවා. මේ දේ ඔයාට නිවසේදි වගේම කාර්යාලයේදිත් කරන්න පුළුවන් විදි බොහොමයක් තියෙනවා. ඩ්‍රයර් එකක් වෙනුවට අවුවේ රෙදි වේලන්න, අනවශ්‍ය විදුලි පහන් නිවා දමන්න, සතියකට පමණ එකවර රෙදි හෝදන්න සහ මදින්න, බලශක්තිය අවමව පරිභෝජනය කරන විදුලි උපාංග(LED බල්බ වැනි) භාවිතා කරන්න, නිවසට හැකිතාක් ස්වභාවික ආලෝකය සහ වාතය එන ලෙසින් ​දොර ජනෙල් විවර කර තබන්න, දින කිහිපයකට එකවර ආහාර පිස ගබඩා කරගැනීමෙන් ගෑස් භාවිතය අවම කරන්න, තනි තනි පුද්ගලයා කාර්වල ගමන් කරනවා වෙනුවට තුන් හතර දෙනෙකු ගමන් කිරීම හෝ පොදු ප්‍රවාහනය භාවිතා කිරීම වගේම ශරීරයටත් සුබදායී වන ලෙස පාපැදියක් භාවිතා කිරී​ම, විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිතා කිරී​මම වැනි ක්‍රියාමාර්ග වෙත යොමුවෙන්න ඔබටත් පුළුවන්. බලශක්තියක් ලෙසින් ගත නොහැකි වුවත් හැකි තාක් ජය පරිහානිය අවම කිරීමත් වැදගත්.

 

යළි යළිත් භාවිතයට

නැවත නැවතත් භාවිතා කළ හැකි ප්ලාස්ටික් නොවන දිරායන උපාංග ඔබේ පරිභෝජනයට එකතු කරගැනීමත් පරරිසරය වෙනුවෙන් තිරසාර හෙටක් උදාකරන්නට ඔබට ගත හැකි ක්‍රියාමාර්ගයක්. නැතිනම් බොහෝවිට ඔබ භාවිතා කරන උපාංග පසුකාලයකදී ඉඩම් ගොඩ කරන්නට හෝ මුහුදට අපද්‍රව්‍ය ලෙසින් එකතු වීම සිදු වෙනවා. මේ නිසා රෙදි බෑග්, නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී වතුර බෝතල්, ලෝහ බීම බට, නැවත බලගැන්විය හැකි බැටරි, උණබට නිෂ්පාදන(දත්බුරුසු, පිඟන්) වැනි දෑ ඔබේ එදිනෙදා පාවිච්චිය වෙනුවෙන් යොදාගන්න.

 

කඩදාසියට ඩිජිටල් විකල්ප

ඔබ දැක තිබෙනවාද විදුලි බල්බ දැමූ, විශාල වායු සමීකරණ යන්ත්‍රයක් සවි කළ, පැය විසිහතරම වැඩ කරන කුඩා කාමරයක ඇති මැෂිමකින් මුදල් ගනිද්දී අවසානයට ඔබට දෙන පණිවුඩය? පරිසර හිතකාමී වෙන්නට ඔබේ රිසිට්පත වෙනුවෙන් කොලයක් වැය කරන්න එපා! මේක අහද්දි විහිළුවක් වගේ දැණුනට, ඒ විහිළුව අපිට ආපහු හිනාවෙන්නෙ ඒ මැෂිම යට නිරපරාදේ වැටිලා තියෙන සුදු පැහැ කොළ ගොඩ දැක්කම තමයි. ඒ නිසා හැකි තාක් කඩදාසි භාවිතය අවම කරන්න. කඩදාසි නිපදවන්න බොහෝ ගස් කපා බිම හැලෙන නිසාම අපි මේ ගැන සිතිය යුතුයි. ඒ කැපෙන වේගයට ගස් වැවෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය නම් පමණක් ප්‍රින්ට් එකක් ගන්න. දැන් බොහෝ ආයතන ඔවුන්ගේ රිසිට්පත ඔබ වෙත ඊමේල් කරන්නත් සූදානම්. ඒ වාසිය ලබාගන්න. කොළ ගොඩ නොගසන්න.

 

බලශක්තියට නව බලයක්

අපි පුනර්ජනනීය බලශක්තියට හුරු වෙන එක තනි තනි මිනිස්සුන්ට කරන්න ලේසි වැඩක් නොවුණත් මූලික පිරිවැයක් යොදලා ඒ තීරණය ගත්තොත් අපිට වාසි ලැබෙනවා. ජලවිදුලියෙන්, හිරු එළියෙන්, සුලං බලයෙන් විදුලිය නිපදවීම ආණ්ඩුවකින් කරන්නට උවමනා දෙයක් වුණත්, අපිට නිවසට සෝලා සිස්ටම් එකක් සවි කරගැනීම, ගෑස් භාවිතය වෙනුවට විදුලි බලයෙන් ඉවුම්පිහුම් කිරීම, පෙට්‍රල් භාවිතය අවම කිරීමට විදුලියෙන් බලගැන්වෙන වාහන භාවිතා කිරී​ම වැනි ක්‍රම වෙත යොමු විය හැකියි.

 

බල ශක්තිය ඉතිරි කරන්නට පරිසරයට උදව්වක් වන්නට ඔබ හට තවත් කළ කී හැකි දෑ බොහෝයි. ඒ ගැන ඔබට ඇති අදහස් අපත් සමගින් බෙදාගන්න. මේ සටහන ඔබට ප්‍රයෝජනවත් යැයි සිතෙනවා නම් අන් අය හා බෙදාගන්න.

Tags