සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

හැරී පොටර් සීරීස් එකම බැලුවත් මදියි මදියි වගේද?

හැරී පොටර් සීරීස් එකම බැලුවත් මදියි මදියි වගේ හිතෙන ඔයාට සුබ ආරංචියක් කියන්නයි මේ හදන්නෙ. බොහොමයක් දෙනෙක් හැරී පොටර් ඉංග්‍රීසි පොත් පෙළ කියවලා, සිංහල පරිවර්ථන කියවලා, ෆිල්ම් ටික බලලා, පසුව හදපු වේදිකා නාට්‍ය පිටපතත් කියවලා, Fantastic Beasts බලලාත් සෑහීමකට පත් වෙලා නැති බව අපිට දකින්න පුළුවන්. ඒ වගේම ආයෙ ආයෙත් ෆිල්ම් එක බලද්දි ගොඩක් දෙනෙක් පොත ඇසුරෙන් මගහැරුණු තැන් හොයාගෙන දොස් කියන බවත් අපිට දකින්න පුළුවන්. අන්න ඒ නිසාම පොත ඇසුරු කරගෙන අරගත්තු කාරණා වලින් හැරී පොටර් ලෝකය වෙනුවෙන් නිර්මාණය කරපු හැරී පොටර් සිනමා කෘති කීපයක් ඔයාලට ගේන්නයි මේ හදන්නෙ. ලේසියෙන්ම හොයාගන්න පුළුවන් විදියට යූටියුබ් එකේ තියෙන මේ නිර්මාණ කරලා තියෙන්නෙ හැරී පොටර් රසිකයන් විසින්. නමුත් ඔබේ සිනමාත්මක අත්දැකීම නම් කිසිසේත්ම වෙනස් වෙන්නේ නැති තරමට ඒවායේ ගුණාමකභාවය ඉහළයි.

අන්න ඒ නිසාම Ceylon Journal අපි මේ fan fiction සහ fan made කෙටි සිනමාපට කිහිපය ඔබ වෙනුවෙන් තෝරාගත්තා.

 

නෙවිල් ලෝංබොටම් ගේ කතාව

https://youtu.be/QSbXEFmc9Qk

 

නෙවිල් ලෝංබොටම් කියන්නෙ හැරී පොටර් කතා මාලාවේ මුල් පෙළ චරිතයක්. අවසන් යුද්ධය වෙනකංම කතාවට මූලිකව බද්ධ වෙලා හිටපු නෙවිල්, මුල් කාලෙදි තරමක් බියගුළු චරිතයක්. ඔහුගේ දෙමව්පියන් ගැන සිනමාපටයේ සඳහන් වුණේ නැතත්, පොතට අනුව නම් නෙවිල් ගේ අම්මාත් තාත්තාත් දෙන්නාම මායාකාරයො. ඉතිං මේ මායා ලෝකෙ එයාලගෙ කතාව ලියවිලා තියෙන විදියට අනුව හදපු කෙටි චිත්‍රපයටයක් තමයි මේ. ඔයාලට මේ සිනමාපටය බලද්දි හුරු පුරුදු චරිතයක් දකින්නට ලැබෙයි. ඒ තමයි බෙලාට්‍රික්ස් ලෙස්ට්‍රේන්ජ්. මේක ෆෑන් මේඩ් මූවි එකක් වුණාට ඇයගේ රංගනය පමණක්ම කොයිතරම් සුවිශිෂ්ඨයිද කියලා ඔයාලට Neville Longbottom and the black witch බැලුවාම අත්දකින්නට ලැබේවි.

 

බ්ලැක් පවුලේ ගෑනු ළමයි

https://youtu.be/0hrcRtu45TU

 

Sisters of House Black කියන්නෙ අපිට තරමක් දුර කතාවක්. ඇයි මම එහෙම කියන්නෙ. අපි දන්නවා හැරී පොටර්ගේ පඥ්ඥා නොහොත් කැපකරු පියාව. ඒ තමයි සිරියස් බ්ලැක්. දවසක් සිරියස් බ්ලැක්ගේ ගෙදරදි ඔහුගේ පවුල් ගස පෙන්වනවා. වෝල්ඩමෝට් වෙනුවෙන් වැඩ කරන බෙලාට්‍රික්ස් ලෙස්ට්‍රේන්ජ් කියන්නෙ සිරියස්ගෙ නංගි බව ගොඩ දෙනෙක් දැනගන්නෙ එතනින්. කොහොමහරි මේ කතාව තියෙන්නේ අන්න ඒ බ්ලැක් පවුලේ සහෝදරියෝ තුන්දෙනෙක් ගැන. මේ තුන්දෙනා හොග්වාට්ස්වල ඉගෙනගන්න කාලෙ සිද්ධි වගේම තවත් නොයෙක් දේ මේ කතාවෙන් බලාගන්න පුළුවන්. මේක මිනිත්තු හතලිහක විතර කාලයක් පුරා දිවෙන කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් අගනා සිනමා නිර්මාණයක්.

 

වෝල්ඩ්මෝට් ආවෙ ඇයි?

https://youtu.be/C6SZa5U8sIg

 

Voldemort: Origins of the Heir කියන්නෙ අපි කියාගෙන ෆෑන් මේඩ් මූවිවලට වඩා තරමක් ලොකු වැඩක් කියලත් කියන්න පුළුවන්. මේ ඉතාලි සිනමා නිර්මාණය තරමක් ලොකුවට වියදම් කරලා හදපු ලොකු වැඩක්. කතාව කියන්නෙ වෝල්ඩ්මෝට් ගැන. වෝල්ඩ්මෝට් කොහොමද මේ තරම් නපුරු වුණේ කියලා හිතනවනං මෙන්න මේ ප්‍රීක්වල් සිනමාපටය නරඹන එක ඔයාලට තරමක් කුතුහලය දනවන වැඩක් වේවි. මේ කතාවෙ ඔයාලට තවත් චරිත කිහිපයක්ම හඳුනාගන්නත් පුළුවන් වේවි. ඒ අතර අලුත් චරිත වගේම පරණ චරිතත් ඉන්නවා. ඒ වගේම හොග්වාට්ස් පාසලේ නිවාස හතරේ අයිතිකාරයොත් ඉන්නවා. අන්න ඒ නිසාම හැරී පොටර් කතා මාලාව ගැන උනන්දු අයට මේක කදිම චිත්‍රපටයක් වේවි.

 

ස්නේප්ගේ පාසල් කාලය

https://youtu.be/EmsntGGjxiw

 

මේකත් හැරී පොටර්ගේ කාලයට කලින් තියෙන කතාවක්. කතාව යන්නෙ හැමෝම අකමැත්තෙන් ඉඳලා පසුව අතිශය කැමති වෙච්ච සෙවරස් ස්නේප් ගැන. Severus Snape and the Marauders කියන්නෙ ස්නේප්ගේ පාසල් කාලය අලලා ගෙතුනු කතාවක්. Marauders කියන්නෙ හැරීගේ තාත්තා වුණු ජේම්ස්, සිරියස්, ලුපින් සහ පීටර් පෙටිගෘ ගෙන් සමන්විත යාළු මිතුරු කල්ලිය. ඉතිං මේ කතාව පටන්ගන්නෙ අවන්හලකදි මුණගැහෙන ආගන්තුකයෙකුට ස්නේප් කියන කතාවකින්. මේ චිත්‍රපටය බොහෝදෙනෙකුට ස්නේප් කළු චරිතයක් විදියට ලෝකෙට පෙණුනේ ඇයි කියා කියාවි.

 

අරියානා මැරුණු විදිය

https://youtu.be/OGHBwk0quxs

 

අරියානා කියන්නෙ ඩම්බල්ඩෝගේ නංගි. ඩම්බල්ඩෝගේ නංගි මියගිය විත්තිය ෆිල්ම් පෙළ බලපු අය දන්න නිසාම අපි ඒ ගැන කියලා පටන්ගන්නම්. Fantastic Beasts තුළින් අඳුනගත්තු ග්‍රින්ඩවෝල්ඩ් ගැන කතා කරන Dumbledore and Grindelwald – The Greater Good කියන්නෙ මායා ලෝකයේ විශ්ෂඨයො දෙන්නෙකුගෙ කතාවක් කියලාත් කියන්න පුළුවන්. මේ දෙන්නාගේ යුද්ධයට හේතුව, යුද්ධය සහ ඒ නිසා ඩම්බල්ඩෝ පවුලේ සහෝදරයන් දෙදෙනාටත් සහෝදරියටත් අත් වුණු ඉරණම ගැන මේ කතාවෙන් බලාගන්න පුළුවන්.

 

ලෝක යුද්ධෙන් වෙන විපරියාස

https://youtu.be/406OZJ4YQHI

 

Le Maitre de la Mort කියන්නෙ හැරී පොටර් වෙනුවෙන් ෆෑන්ස්ලා හදපු ෆිල්ම් අතරින් වෙනස් විදියෙ ෆිල්ම් එකක්. අපි එහෙම කියන්න හේතුව තමයි මේකෙ කියන්නෙ හැරී පොටර්ලා ඉන්න මායා ලෝකය සහ සැබෑ ලෝකය නොහොත් මගල්ස්ලාගේ ලෝකය අතර ගැටීමක් සිද්ධ වුණු අවස්ථාවක් ගැන. මේ කතාව දිවයන්නෙ ලෝක යුද්ධ කාලෙට. ලෝක යුද්ධයෙන් සැබෑ ලෝකයේ මිනිසුන් මුහුණ දුන් බරපතල තත්ත්වය අපි හැමෝම අහලා තියෙනවා. හැබැයි ඒ කාලයේ සැබෑ ලෝකයෙන් සදාකාලිකව හැංගිලා හිටපු මායා ලෝකයටත් බරපතල ප්‍රශ්න වුණා. මේ ඒ කාලයේ ඕරර් කෙනෙකුට මායා ලෝකයේ දුෂ්ඨයා මුණගැහුණු කතාව.

 

හඳට ළඟ ලුපින්

https://youtu.be/zhkHbHSOzHs

 

අපි රේමස් ලුපින් ගැන කතා කරන්නෙ හිතේ භක්තියකින්. හැරීට ආදරේ කරන කවුරුත් ලුපින් නම් වූ මිතුරා සහ ගුරුවරයා ගැන ආදරයත් අනුකම්පාවත් මිශ්‍ර හැඟීමකින් කතා කළා. ඒ අනුකම්පාව එන්නෙ හඳ දැක්කාම වෘක මිනිසෙකු බවට පත්වීමේ ශෝකයත් එක්කමයි. මේ කතාවෙ ලුපින්ට මුහුණ දෙන වෙන අභියෝගයක් ගැන තමයි කියන්නෙ. ඒ වෘක මිනිසුන් සමූහයක් එක්ක. එහිදී ඔහුට මුණගැහෙනවා. ෆෙන්රි ග්‍රේබැක්. ඒ අති භයංකර මායාකාරයෙක් වගේම වෘක මිනිසෙක්. ඒ කතාව රසවිඳින්නට ඔබට Son of the Moon හරහා පුළුවන්.

 

ඔයාලත් දන්න තවත් මේ වගේ ෆෑන් මේඩ් සිනමා පට තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න අමතක කරන්න එපා!

Tags