සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

රනිල් රට හදද්දි සිද්ධ වෙලා තියෙන්න පුළුවන් දේවල්

දැන් දැන් කට්ටියට ආයෙත් රට ගැන අමුතු ලස්සන හැඟීමක් වගේම හීනයක් තියෙනවා. දැන් පෝලිම් නෑ, පෙට්‍රල් තියෙනවා කෝටා එකකට වුණත් ප්‍රශ්නයක් නැතුව, එන්න එන්නම තෙල් කෝටාවත් වැඩි කරනවා, හොරට විකුණන්නෙත් නෑ, නොදැන නොබලා ඉවක් බවක් නැතුව පැය හත අට කරන්ට් ගියාට ඉස්සර වගේ පැය ගනං කාර්තුවලට කරන්ට් කපන්නෙ නෑ, ඩොලර් එකත් අසරණ වෙලාලු, විදෙස් රටවලින් මෙහෙ එනවා, අපි විදෙස් රටවලට යනවා, දකින දකින අත මේ යසඉසුරු පිරුණු තැන දාලා මිනිස්සු ගැලවිලා ගියාට ගොඩක් අය මෙහෙ ඉන්නා එකේ වටිනාකම ගැන කියනවා. ඉතිං අපි තාමත් රනිල් රට හදයි කියලා හිතාගෙන ඉන්නවා.

මේ නිසාම මේ සටහන රනිල් රට හදලා ඉවර වෙන කාලෙට අපිට සමාන්තරව අත්දකින්නට ලැබෙන දේවල් කිහිපයක් ගැන විස්තර.

 

කසාදයක් ඕනෙද?

තරුණයන්ව දකින වැඩිහිටියන්ට ඉස්සර මතු වුණු ප්‍රශ්න මොකුත් ම දැන් නම් ඇත්තේම නැහැ. දැන් මොනවද ඉගෙනගන්නෙ කියලා හොයලා බලන්නෙ නෑ, ආදරේ කරනවාද? ඒ කාටද? කියලා හොයලා බලන්නෙ නෑ. වැඩි දුර ඉගෙනගන්නවද? ඉගෙනගත්තු ටික හොඳට පාස්ද? කියලා බලන්නෙ නෑ. දැන් රස්සාවක් කරන්න ඕන නේද? පඩිය කීයද? වාහනයක් ගන්නෙ නැද්ද? කසාදයක් කරගත්තොත් මොකද කියලා අදහස් දෙන්නෙ නෑ. කොටිම්ම කසාද බැඳපු අයගෙන් දරුවන් හැදීම ගැන, ඒ දරුවන්ට නංගිලා මල්ලිලා හැදීම ගැන අහන්නෙත් නෑ. පුළුවන් තරමකින් උදව්වක් කරනවා ඇරෙන්න කවදාවත් ප්‍රශ්න අහන හෝ තමුන්ගෙ මතයකට පොළඹවන සිරිතක් දැන් වැඩිහිටියන් අතරේ ඇත්තේම නෑ. අන්න එහෙමයි රනිල් මහත්තයා හදපු රට.

 

පාඩුවේ මත්වෙමු

මේ රටේ මත්පැන් බීම කිසිම ලෙසකින් පොරත්වයක් විදියට සලකන්නෙ නෑ තව දුරටත්. අරක්කු නොබොන මිනිස්සුන්ව පාච්චල් කරන්නෙ නෑ. බයිට් කද්දි මොකුත් කියන්නෙ නෑ. ඒ මිනිස්සුත් වන සත්තු වගේ බොන මිනිස්සුන්ගෙ බයිට් ටිකට බත් කනවා වගේ ෂොට් එක දෙන්නෙ නෑ. අනිත් කෙනා බීපු ෂොට් ගාන ගනං කරන්නෙ නෑ. වෙරි වුණාම වීඩියෝ කරන්නෙ නෑ. බීලා කියපු කතා තැන තැන කිය කිය යන්නෙ නෑ. දාන ෂැන්ඩි වර්ගය ගැන උපදෙස් දෙන්නෙ නෑ. තමුන් කැමති ලෙසකට, කැමති රසකට, කැමති විදියට මත් වෙන්න විතරක් මේ වෙලාව යොදාගන්නවා. ඒක ඇඟට හොඳ නැති නිසා ඒ වෙනුවෙන් පුළුවන් තරමකින් වතුර බීලා, ගුණ දේවල් කාලා ශරීරය හැඩගස්වා ගන්නවා.

 

නිදහසේ ආගම

ආගම්වල නීති නෑ. සුදු අඳින්න කියන්නෑ, රට වටේම තියෙන්නෙ අල්පේච්ඡතාවය මුල් කරගත්තු සාදා නිම කළ සාමාන්‍ය පන්සල් ඇතුළු ආගමික ස්ථාන. ඕනෑම කෙනෙකුට ඇතුළු වෙන්නට පුළුවන්. නොදන්න දේ ඉගෙනගන්න දහම් දැනුම තියෙන පූජකයන් වගේම ශාස්තෘන් මග යන පූජකයන් නිසා මිනිස්සුන්ගෙ හිතට දැනෙන්නෙ සිසිලසක්. වැරදිලාවත් වැරදි මගක යන පූජකයෙක් සිටියොත් පළමු අවවාදයෙන් පස්සෙ පූජක කමෙන් නෙරපලා දෑත දෙපයේ රැකියාවකට හුරුකරන වගකීමත් ආගමික ස්ථානයෙන්ම භාරගන්නවා. තමන් ජීවත් වෙන්නෙ අහිංසක මිනිස්සුන්ගෙන් ලැබෙන දානයෙන් නිසාම, ශ්‍රමනයින් හැකි පමණින් ගමේ ගොඩේ වැඩවලට උදව් වෙනවා පමණක් නොවෙයි ළමුන්ට නොමිළේ අමතර ඉගැන්වීම් පවා සිද්ධ කරනවා.

 

මෙන්න ඔෆිස්

රජයේ හෝ පෞද්ගලික කාර්යාල බේධයකින් තොරව වැඩ සිද්ධ වුණේ රටේ යහපත වෙනුවෙන්. හැම වැඩක්ම නිසි පිළිවෙලට වගේම නිසි කලට සිද්ධ වෙන නිසා මිනිස්සුන්ට රස්තියාදුව කියන දේ අමතක වුණු ගානට ම රට පත්වෙලා. ඒ ඒ රාජකාරි වෙනුවෙන් වැටුප් ගෙවීම් සහ වැඩි වීම් සිද්ධ වෙන්නෙත් යාන්ත්‍රණයකට අනුව. ලොක්කො විසින් ගොට්ටො කියන කේලම් අහන්නේ නැතුව හැම වසරකම තියෙන ඇගයීම් පරිසාධන මට්ටම සපුරන සේවකයින් පමණක් නියමිත වරප්‍රසාද දිනන සාධාරණ තැනකට රට පත්වෙලා.

 

ඉතිං රනිල් රට හදලද?

අපි මේ උඩ කියපු කාරණා මුළු ජන සමාජයක් විදියට ඇත්ත නොවුණත් අපට මුණගැහෙන හෝ නොගැහෙන සමාජය ඇතුළෙ තාමත් මේ වගේ දේවල් අතරින් පතර සිද්ධ වෙනවා. හැබැයි ඉතිං බහුතරය දිහා බැලුවම අපිට කියන්න තියෙන්නෙ රනිල් රට හදල නෑ කියලා තමා. ඒ වගේම අවුරුදු හැත්තෑ ගානක් තිස්සෙ විප්ලවයෙන්, භීෂණයට, භීෂණයෙන් යුද්ධයට, යුද්ධයෙන් ව්‍යසනයට, ව්‍යසනයෙන් යුද්ධයට, යුද්ධයෙන් භීෂණයට, භීෂණයෙන් ව්‍යසනයට, ව්‍යසනයෙන් ආයෙත් මොකක්හරි එකකට කඩයිම් දිදී අපි බලා සිටියා මිසක් අපිට තේරෙනවා මේ උඩ කියන කාරණා අපේ රට ඇතුළෙ නං මේ විදියට වෙන්නෙ නෑ කියලා. ඒ කියන්නෙ ඉතිං රනිල් රට හදන්නෙත් නෑ කියන එක තමයි.

 

Tags