සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

මැයි දිනේටත් නිවාඩු නැති වෘත්තිකයෝ

කතාවට නං කියන්නෙ අපේ රටේ නිවාඩු ගොඩක් වැඩියි කියලයි. කතාවට කිවුවට ඒක ඇත්තක්. ඉතිං මේ නිවාඩු වැඩි නිසා මිනිස්සු විදියට තම තමුන් අකාර්යක්ෂම වෙන්නටත් තරමක් බලපානවා වගේම රටක් විදියටත් තරමක් ආපස්සට යන ගතියක් දකින්නට පුළුවන්. ඉතිං මේ මොනව වුණත් වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් වුණු දිනයක් වෙච්ච මැයි දිනයට නම් බොහෝ දෙනෙකුට අනිවාර්යයෙන් නිවාඩු ලැබෙනවා. අද අපි කතා කරන්න යන්නෙ වැඩ කරන ජනතාව විදියට, වැඩ කරන ජනතාවගේ දිනයටවත් නිවාඩුවක් නොලැබෙන පිරිසක් ගැනයි. ඉතිං ඔයාලත් දන්න, අපිටත් මගහැරුණු මේ වගේ වැඩ කරන ජනතාව ඉන්නවා නම් අපිට කියන්න පසුබට වෙන්න එපා.

 

දේශපාලකයින්

මැයි දිනේට කිසිදා නිවාඩුවක් නොගන්න අය තමයි මේ. ආණ්ඩු පක්ෂයේ වුණත් විපක්ෂයේ වුණත් උඩ ම පුටුවෙ හිටියත්, යට ම පුටුවටත් යට හිටියත් දේශපාලනේට වෘත්තියක් විදියට ගෑවුනු අයට මැයි දිනේ දවසට නිදහසක් නෑ. සෙනග එකතු කරන්න තියෙනව, සල්ලි බෙදන්න තියෙනව, කතා කරන්න තියෙනව, කතා අහන්න තියෙනව, අත වනන්න තියෙනවා, බබ්බු උස්සන්න තියෙනවා, මූනු ඉඹින්න තියෙනවා. වගේ වෘත්තියේ ජීවිතේ අතිශය බහුල රාජකාරි දවසක් තමයි මැයි දිනේ. කොටිම්ම කලාකාරයොන්ට අවුරුදු දවසෙ නටන්න වෙන සෙල්ලං ගොඩට වඩා සෙල්ලං ටිකක් දේශපාලකයන්ට මැයි දිනේ දවසට නටන්න වෙනවා.

 

පෞද්ගලික ආරක්ෂකයින්

මැයි දිනේ වුණත් ඉතිං රකින්න තියෙන්නෙ දේශපාලකයන්ව නං එයාලත් එක්ක යන්න වෙනවා. දේශපාලකයො හිතං ඉන්නවනෙ මුළු රටම බලං ඉන්නෙ එයාලව නසන්න කියලා. කරන වැරදි ගොඩ හැටියට එහෙම හිතුවත් ප්‍රශ්නයක් නෑ තමයි. හැබැයි මෙහෙම හිතන නිසා එයාලා එයාලාව රකින්න අටෝරාසියක් ආරක්ෂකයින් වටකරගන්නවා. ඉතිං මේ වටකරගත්තු ආරක්ෂකයන්ටත් මැයි දිනේ දවසට නිදහසක් ලැබෙන්නෙ නෑ. තව ඉතිං පෞද්ගලික ආරක්ෂකයෝ ඉන්නවා. බැංකු වගේ තරමක් මුදල් හදල් ගැවසෙන තැන් රකින. මොකද ඉතිං මැයි දිනේ හොරුත් නිවාඩු නෑනෙ.

 

යාචකයින්

කලින් කියපු හොරු කාණ්ඩයටම වක්‍රාකාරව වැටෙන කට්ටියක් තමයි වෘත්තිය යාචකයො. එයාලා මිනිස්සුන්ගෙන් මුදල් හිඟන්නෙ එයාලට සල්ලි නැති නිසා නෙමෙයි. මොකද ඒ තමයි එයාලගෙ රස්සාව. උදේ වෑන් එකකින් ඇවිත් ඒටීඑම් ගාවින් බස්සගෙන යන බඩ දරු අම්මලාගේ සිට හැම ට්‍රැෆික් ලයිට් එකක් ගාව ම හිටගෙන ඉන්න බොහෝ යාචකයින් මේ ගොඩට තමයි වැටෙන්නෙ. එයාලට ඉතිං මැයි දිනේ වැදගත්කමක් කියල දෙයක් නෑ.

 

බස් සහ ත්‍රීරෝද රථ රියදුරන්

මැයි දිනේ කියන්නෙ ඇඳිරි නීතිය දාන දවසක් නෙමෙයිනෙ. අන්න ඒ නිසාම මිනිස්සු මැයි දිනේට නොයෙක් නොයෙක් වැඩ කරනවා. මේ පාර මැයි දිනේට නම් ලෝංග් වීක්එන්ඩ් එකක් නිසා ගොඩක් අය ට්‍රිප් යනවා. ඉතිං ඒ ට්‍රිප් ගිය අය ගෙදර එන්නෙ මැයි දිනේ දවසට. ඉතිං එදාටත් වැඩ කරන එක රියදුරු මහත්තුරුන්ට සාමාන්‍ය දෙයක්. ඉතිං මේ නිසාම රියදුරු මහත්තුරුන්ට මැයි දින නිවාඩුවක් නැති තරම්. රූට් එකේ පදින්න නැත්තං, ට්‍රිප් එකක් යන්න හරි හම්බෙනව ම තමයි.

 

ගරාජ් මිකැනික්

බස් සහ ත්‍රීරෝද රථ වගේ ම නොයෙක් වූ භාන්ඩ ප්‍රවාහන සේවා කරන ට්‍රක් රථ පාරෙ යනවා කියන්නෙත්, කට්ටිය ගමන් බිමන් යනවා කියන්නෙත් ගරාජ් විවෘතව තියෙන්න ඕන කියන එක. මොකද මැයි දිනේට වාහන කැඩෙන්නැතුව තියෙන්නෙ නෑනෙ. ඉතිං මේ කැඩෙන වාහනවලට රෙපෙයාර් කිරිල්ලක් කරන්න ගරාජ් මිකැනික්වරු මැයි දිනේටත් තමන්ගේ සේවය සිද්ධ කරනවා.

 

ස්වයං රැකියා

ගරාජ් වගේම නොයෙක් වූ ස්වයං රැකියා, තමන්ගෙ ස්වෝත්සාහයෙන් කරන අයටත් මැයි දිනේ කියලා නිවාඩුවක් ගන්න බෑ. මොකද එයාලට කරන්න වැඩ තියෙනවා. දවසක වැඩ නැති වුණොත් පාඩු වෙන්නෙ එදා වැඩේට විතරක් නෙමෙයි. ආයෙත් තමුන්ට සදාකාලිකව හොඳ ගනුදෙනුකරුවෙක් නැති වුණා වෙන්න පුළුවන්. අන්න ඒ නිසාම ස්වයං රැකියා කරන අයට මැයි දින නිවාඩු නෑ.

 

අත්‍යවශ්‍ය ෂිෆ්ට්

හෙද හෙදියන්, දුරකතන, ජල, හා විදුලි ආයතන සේවකයින්, වැනි අයටත් මැයි දිනේ නිවාඩුව අහිමි වෙන්න තියෙන ඉඩ වැඩියි. මොකද එයාලා ෂිෆ්ට් එකට හෝ බොහෝදුරට ඒ දවසෙදි තමුන්ගෙ අත්‍යවශ්‍ය සේවයේ නියුතු විය යුතුමයි. මේ අය නැති වුණොත් ජන ජීවිතය අඩාලයි. අන්න ඒ නිසාම එයාලා අත්‍යවශ්‍යයි.

 

අත්‍යවශ්‍ය නැතත් ෂිෆ්ට්

අපි උඩින් කියපු කාරණේ තරමට ම ජනතාව අත්‍යවශ්‍යයි කියලා පිළි නොගත්තත්, තවත් කට්ටියකට මැයි දිනේ දවසට ෂිෆ්ට් එකට හෝ වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ තමයි සුපර්මාකට් සෙවකයින්. මොකද බොහොමයක් දින 365 ම විවෘත කළ මේ වගේ සුපිරි වෙළඳසැල්වල ෂිෆ්ට් එකට වැඩ කරන්න වෙනවාමයි.

 

පිටරට වැඩ

ජීවත් වෙන්නෙ ලංකාවෙ වුණාට වැඩ කරන්න වෙන්නෙ විදෙස් රටකට නම් එයාලටත් මැයි දිනේ නිවාඩුව නොලැබෙන්න තියෙන ඉඩ වැඩියි. මැයි දිනය ජාත්‍යන්තර වශයෙන් සැමරෙන දිනයක් වුණත්, එදාට නිවාඩුවක් නොගෙන වැඩ කරන බොහෝ විදෙස් ව්‍යාපාර තියෙනවා. ඒ නිසා මැයි දිනේටත් ගෙදර ඉඳන් වැඩ කරන්න වෙන පිරිසක් අපි අතරෙම ඉන්නවා.

 

පොලිස් සහ හමුදා

මේ අයව ඉතිං අමතක කරන්න බෑ. මැයි දිනේට සමහරවිට මෙයාලගෙන් විශේෂ වැඩත් බලාපොරොත්තු වෙනවා. අයිතිවාසිකම් වෙනුවෙන් පෙළපාලි යන්නත් නීතියෙන්ම තහනම් නිසා පොලිසිය සහ ත්‍රිවිධ හමුදා නිලදරුවන්ට නම් මැයි දින නිවාඩුවක් ඇත්තේ නැහැ.

Tags