සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

පොඩි පාටියකට ගෙදරදීම හදාගන්න පුළුවන් චිකන් බයිට්ස් වර්ග 5ක්

සාමාන්‍යයෙන් ගෙදරක සෙට් වෙද්දි වියදම් අවම කරගන්න පුළුවන් හොඳම විදියක් තමයි කෑම වියදම පාලනය. පොඩි මහන්සියක් දැරුවොත් මේ කෑම වියදම පාලනය නිසා වැඩි රසයකට, වැඩි කොලිටියකට, වැඩි කෑම ප්‍රමාණයක් සකසා ගන්නට අපට හැකියාව ලැබෙනවා. අන්න ඒ නිසා අපි අද සටහන් කරන්නේ ගෑනු පිරිමි හෝ ඉවීම් අත්දැකීම් වැඩිය නැති කෙනෙකුට වුණත් පහසුවෙන් ම චිකන්වලින් ගෙදරදීම හදාගන්න පුළුවන් විදියේ රසම රස බයිට්ස් වර්ග කිහිපයක් ගැනයි. සාමාන්‍යයෙන් මේ වාසියේ වෙනස ඔබට මෙම ආහාර ඇනවුම් කරන්නට යන මුදල හා සංසන්දනය කිරීමෙන් ම දැකගන්නට පුළුවන් වගේම මේ බයිට්ස් සමග ලැබෙන චිකන් සහ එළවළු පරිමාණ සංසන්දනයෙන්ද අත්දකින්නට පුළුවන්. ඒ නිසා හැදුවොත් කිසිම පාඩුවක් නෑ. 

 

කොච්චි චිකන් බයිට් 

 

මේ වගේ පොඩි සෙට්වීමකට තරමක් දැවිල්ලට යමක් හදාගන්න එක වැදගත්. මේ කියන චිකන් කොච්චි බයිට්ස් ලංකාවෙ රසට කදිමට සකසා ගන්නට හැකි තරමක් වියලි(සෝස් ගතිය අඩු) ආකාරයට වුණත් රෙසිපිය පොඩ්ඩක් වෙනස් කරගත හැකි බයිට් එකක්. 

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

කටු රහිත චිකන් ග්‍රෑම් 500

කොච්චි කරල් 10-12

සුදුළූණු ලොකු බික් 3-4

සෝයා සෝස් තේ හැන්දක්

චිලි සෝස් මේස හැන්දක්

දෙහි යුෂ ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

තල තෙල් තේ හැඳි 1/4

එළවළු තෙල් තේ හැඳි 1

 

චිකන් ටික තීරු කපලා ලුණු හා දෙහි ටිකක් අතගාල ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න. 

කොච්චි වලට සුදුළූණු දාල හොඳට වංගෙඩියෙ කොටාගන්න. 

එළවළු තෙල් එක්ක තල තෙල් රත්වෙන්න තියල ඒකට තලාගත්ත කොච්චි, සුදුළූණු ටික දාගන්න. 

ඒක යන්තමට බැදෙන්න ඇරල ඒකට උඩින් සෝයාසෝස්, චිලි සෝස් දාල කළවම් කරලා ඒ එක්කම බැදගත් චිකන් ටික දාල හොඳට කළවම් කරගෙන ලිප නිවන්න. අන්තිමට තව දෙහි යුෂ ටිකක් උඩින් ඉහගන්න. 

 

 

චිකන් ස්ට්‍රිප්ස්

තරමක් දැවිල්ල අඩුවෙන් කන්න පුළුවන් බයිට් එකක් තමයි මේ. ඒ වගේම තෙත ගතිය අඩුවෙන් බයිට් කන්න කැමති අයට අතේ ගාගන්නෙ නැතුව කන්න පුළුවන් චිකන් ස්ට්‍රිප්ස් නියම රස බයිට් එකක්. සාමාන්‍යයෙන් බැදපු චිකන් ස්ට්‍රිප්ස් ගෙන්වා ගන්නට වගේම, ශීතකළ චිකන් ස්ට්‍රිප්ස් පවා වෙළඳපොලේ තිබුණත් අපේ මේ රෙසිපි එක නම් රස දෙන බව විශ්වාසයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

කටු ඉවත් කර දිග අතට කපාගත් චිකන් කෑලි 15ක් පමණ

දෙහි බෑයක යුෂ

ලුණු හා ගම්මිරිස්කුඩු

චොප්කරගත් සුදුළූණු බික් 4

 

කෝට් කිරීමට

 

පාන්පිටි කෝප්ප 1/2

බිත්තර 1

බිස්කට් කුඩු කෝප්ප 1

බැදීමට තෙල්

 

චිකන් වලට ලුණු, ගම්මිරිස්කුඩු, සුදුළූණු සහ දෙහි දාලා කළවම් කරලා ෆ්‍රිජ් එකේ පැය 8ක් මැරිනේට් කරගන්න. 

බිත්තරය විස්ක් කරගන්න. මැරිනේට් කරගත්ත චිකන් ටික පිටි වල තවරලා, බිත්තර සාරු වල දවටලා, බිස්කට් කුඩු තවරලා ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනකම් බැදගන්න.

ගාල්ක් මයෝ, චිලි සෝස් මික්ස් එකක් එක්ක පිළිගන්වන්න.

 

 

 

චිකන් ලිවර් පෙපර් ෆ්‍රයි

සමහරු චිකන් ලිවර් එක කෑමට අකමැති වුණත් බයිට් එකක් විදියට චිකන් ලිවර් එකෙන් නියම රස බයිට් එකක් හදාගන්න පුළුවන්. ගම්මිරිස් රස වැඩිපුර කැමති අයට මේ බයිට් එක නියමෙට සෙට් වේවි.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

පීකුදු ග්‍රෑම් 500

ලොකුවට ලියාගත් ළූණු ගෙඩි 2

කපාගත් සුදුළූණු බික් 6

මිරිස්කුඩු තේ හැඳි 2

ගම්මිරිස්කුඩු තේ හැඳි 1

කපාගත් අමුමිරිස් කරල් 4

රම්පේ කෑලි 2

කරපිංචා ස්වල්පයක්

චිකන් ස්ටොක් කෝප්ප 1/2

කපාගත් තක්කාලි ගෙඩි 1

තෙල් ස්වල්පයක්

ලුණු

 

පීකුදු ටික ලුණු, ගම්මිරිස්කුඩු හා මිරිස්කුඩු දාලා පැයක් මැරිනේට් කරගන්න. 

පෑන් එකකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට රම්පේ හා කරපිංචා එකතු කරන්න. ටිකකින් ලිවර් ටික දාලා අවශ්‍ය තරම් ලුණු දාගන්න. චිකන් ස්ටොක් එකත් එකතු කරන්න. 

මේකට ළූණු හා සුදුළූණු දාගන්න. ටිකකින් කපාගත් තක්කාලි, අමුමිරිස්, ගම්මිරිස්කුඩු, මිරිස්කුඩු එකතු කරන්න.

කළවම් කරලා තෙත ගතිය හිඳෙනකල් ලිපේ තියලා දෙහි යුෂ ටික දාලා ලිපෙන් බාගන්න. 

 

ෆ්‍රයිඩ් චිකන් ඩ්‍රම්ස්ටික්

 

මේකත් මැරිනේට් ගේම් එකෙන් රස වැඩි වෙන බයිට් එකක්. බයිට් එකක් විදියට නොගැලපෙනවා නම් නොගැලපෙන එකම හේතුව වෙන්නේ අපි උඩින් සඳහන් කරපු අනෙක් බයිට්ස්වලට වඩා ඉක්මනින් මේ බයිට් එක ඉවර වීම වෙන්න පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

චිකන් ඩ්‍රම්ස්ටික් 7-8

ගම්මිරිස්කුඩු ස්වල්පයක්

කහකුඩු තේ හැඳි 1/2

මිරිස්කුඩු තේ හැඳි 1

ඉඟුරු සුදුළූණු පේස්ට් තේ හැඳි 2

සෝයාසෝස් තේ හැඳි 1

ලුණු

පාන්පිටි මේස හැඳි 2

බිස්කට් කුඩු මේස හැඳි 4

බැදීමට තෙල්

 

බෝල් එකකට ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාලා සෝයාසෝස්, කහකුඩු, ගම්මිරිස්කුඩු, ලුණු  හා මිරිස්කුඩු දාල කළවම් කරන්න.   

චිකන් ඩ්‍රම්ස්ටික් වලට පිහියෙන් කැපුම් පාරවල් ටිකක් දාගන්න. දැන් චිකන් ටික සාදාගත් පේස්ට් එකේ දාලා හොඳට කළවම් කරන් පැය දෙක තුනක් මැරිනේට් කරගන්න. 

පාන්පිටි හා බිස්කට් කුඩු කළවම් කරගන්න. දැන් මැරිනේට් කරපු චිකන් ටික බිස්කට් කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න. 

 

හොට් ඇන්ඩ් ස්පයිසි චිකන් බයිට්

 

තවත් රසම රස චිකන් බයිට් එකක් වුණු හොට් ඇන්ඩ් ස්පයිසි චිකන් බයිට් කියන්නෙ තනිකරම මැරිනේට් එකේම ගේම් එක තියෙන වැඩක්. වැදගත් වන්නේ මේ මැරිනේට් එකට අවධානය යොමු කිරීම විතරමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

කටු නැති චිකන් ග්‍රෑම් 500

චොප්කරගත් ඉඟුරු තේ හැඳි 1

චොප්කරගත් සුදුළූණු බික් 8-10

කහකුඩු තේ හැඳි 1/2

මිරිස්කුඩු තේ හැඳි 2

සෝයාසෝස් තේ හැඳි 2

ගම්මිරිස්කුඩු තේ හැඳි 2

විනාකිරි තේ හැඳි 2

දෙහි ගෙඩියක යුෂ

සීනි තේ හැඳි 1

ලුණු

අඹරාගත් කරපිංචා ස්වල්පයක්

ග්‍රීන් චිලී සෝස් තේ හැඳි 1

කෝන්ෆ්ලා තේ හැඳි 2

බැදීමට තෙල්

 

චිකන් වලට ලුණු, දෙහි යුෂ, මිරිස්කුඩු, කහකුඩු, ගම්මිරිස්කුඩු හා සෝයාසෝස් දාලා කළවම් කරන්න. මේකට චොප්කරගත් ඉඟුරු, සුදුළූණු, කරපිංචා, ග්‍රීන් චීලී සෝස් එක්ක සීනි දාලා පැයක් මැරිනේට් කරගන්න. 

ඊළඟට මේ චිකන් ටික කෝන්ෆ්ලා වල දවටලා ගැඹුරු තෙලේ රන්වන්පාට වෙනකල් බැදගන්න.

Tags