සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

පිරිසිදු ජල මූලාශ්‍ර සියයක් මගෙන්..

James Stephen නැත්නම් “Jimmy” කියලා කීව පමණින් ඔයාල කාටවත් මේ කතා කරන්නේ කවුරුන් ගැනද කියලා අවබෝධයක් නොඑන්න පුළුවන්. නමුත් ඇමරිකානු Youtuber කෙනෙක් වෙන MrBeast කියූ සැණින්ම ඔයාල දන්නව මේ කතා කරන්න යන්නේ කා ගැනද කියලා. නොදන්නවානම් ඉතින් ඒ බොහොම අතලොස්සක් දෙනෙක් තමයි. මිස්ටර් බීස්ට් උපත ලබන්නේ 1998 අවුරුද්දේ මැයි මාසයේ 07 වෙනිදා. තවම අවුරුදු 25ක් වෙන ලාබාල තරුණයෙක්. මිල අධික ප්‍රයෝගයන්, විවිධ අභියෝග වගේම විශාල ධන පරිත්‍යාගයන් හරහා කරනු ලබන සමාජ මෙහෙවරයන් වලටත් මිස්ටර් බීස්ට් ඉතාම ප්‍රසිද්ධයි. මේ වෙද්දී ඔහු සතු වෙන යූටියුබ් සබ්ස්ක්‍රයිබර්ස්ලගේ ප්‍රමාණය මිලියන 209ක්. ඔහුගේ Revenue එක ගැන නම් අදහසක් පල කරන එක ඉතාම අසීරු දෙයක්.

මේ සටහනේ ඉදිරිය මිස්ටර් බීස්ට් ගේ perspective එකෙන් සහ අදහස් වලින් ගෙන ගියා නම් වඩාත් හොඳයි කියලා හිතෙනවා. සටහනට පදනම වෙන්නේ ඔහු විසින් මේ මාසයේ, ඒ කියන්නේ නොවැම්බර් 04 වනදා යූටියුබයට මුදා හැරපු හරිම අපූරු කර්තව්‍යයක් සම්බන්ධයෙන් වන වීඩියෝව​.

“මේක තමයි පළවෙනිම ළිඳ අපි මේ වීඩියෝව හරහා ගෙන එන,​ ඉදි කරන්න බලාපොරොත්තු වෙන අනෙක් 100න් ගත්තහම​. ඔහ් හෝ වතුර​… ඔයා දැන් සාක්‍ෂි දරනවා කෙන්යාවේ කුඩා ග්‍රාමයක මිනිස්සු පිරිසිදු වගේම ඕනෑතරම් ලබාගන්න පුළුවන් කම තියෙන ජල මූලාශ්‍රයක අයිතිකාරයො වුන එකට​. මේකට ගියේ නම් තත්පරයකටත් අඩු කාලයක්. එකක් හරි. තව 99ක් තියෙනවා අප්‍රිකාව ඇතුලෙ සම්පූර්ණ කරන්න​. ඔබ මේ වීඩියෝවට කැමති වෙන බව නම් නොඅනුමානයි.”

සටහන Intro එකෙන් ඉදිරියට ගලාගෙන යන්න සලස්වමු..

“මේ පිරිසිදු ජල මූලාශ්‍ර සියය අඩුම තරමින් මිලියන බාගයක පමණ ජනතාවකගෙවත් පිරිසුදු පානීය ජල අවශ්‍යතාවය සපුරන බවට සැකයක් නැහැ. අපි රටේ දකුණු දිශාවේ පිහිටලා තිබෙන Nairiri පාසල් පද්ධතිය දැක බලා ගන්න පියාසර කලා. ඒ ගොල්ලො අපිව දැකලා පුදුම තරම් සතුටු වුණා.”

මිස්ටර් බීස්ට් ට ලැබෙන්නේ ඔහු බලාපොරොත්තුවත් නොවන විදිහේ උණුසුම් පිලිගැනීමක්. එතනදී එක ගුරුවරයෙක් ඔහුට පෙන්වනවා දරුවන් බීමට ජලය ගන්න ඇළ මාර්ගය​. ඒක කිසිලෙසකින්වත් බීමට නම් සුදුසු ජලය තිබෙන ඇළක් නෙවෙයි. මේ ජලය දරුවන්ට ඉතාම අනාරක්‍ෂිතයි. ඔවුන්ගේ ජීවිත වලටත් ඒක ඉතා ලොකු අවධානමක්.

දැන් නිම කරන්න තියෙන්නේ Mileage එකේ නව වෙනි ළිඳ​. හොඳ පීඩනයකින් වතුර ලබා ගන්න වතුර ටැංකි දෙකක්ම ඉහලින් ස්ථාපිත කරලා මිස්ටර් බීස්ට් ඒ වැඩේ සම්පූර්ණ කරනවා. තව දුරටත් ඇඳුම් සේදීම සඳහාවත් අපිරිසිදු ජලය භාවිතා කරන්න අසල්වාසී ගම්වැසියන්ට උවමනා වෙන්නේ නැහැ. 

“අපි කෙන්යාවේ පිරිසිදු ජලය ලබාගන්න පුළුවන් ළිඳවල් 29ක් ඉදි කරනවා වගේම මොකක්ද මේක පිටුපසින් තිබුණු තාක්‍ෂණය වෙන්නේ? අපි දැවැන්ත සිදුරු කිරීමේ යන්ත්‍රයක් උපයෝගී කරගත්තා පොළව යටට අඩි සියගණනක් විදගෙන යාමේ හැකියාව ඇති. ඒ හරහා අපි ඉතාම පිරිසිදු ජල ප්‍රභවයකට ළගා වෙනවා වගේම ඉන් පස්සේ ජලය ලබාගන්න පහසුවෙන විදිහට අපි එය සවිකරලාත් දෙනවා.”

“ඔබට හිතෙනවා වෙන්න පුළුවන් මේ වගේ ව්‍යාපෘතීන් දැවැන්ත විදිහට කරන්න රජයකට වගේ විශාල මුදලක් අවශ්‍ය වෙනවා ඇති කියලා. නමුත් ඒක නෙවේ ඇත්ත​. මේ වගේ ප්‍රශ්ණ විසඳන්න පුළුවන්. එය කල හැකි දෙයක්. මනුෂ්‍යත්වය හරහා අපි දරන ප්‍රයත්නයෙන් බොහෝ දෑ නිවැරදි කල හැකියි.” 

“මොකක්ද සාර්ථකත්වයේ රහස​?” කුඩා පාසල් දරුවෙක් මිස්ටර් බීස්ට් ගෙන් ප්‍රශ්ණයක් අසනවා. “අවංකවම කියනවා නම් තමන් ආදරේ කරන දෙයක් කරන්න වගේම, ඒ දේ දිගු කාලයක් කරන්න, ඔයා සාර්ථක වෙනකන්ම​..”

මිස්ටර් බීස්ට් එතකිනුදු නතර වන්නේ නම් නැහැ. “අපිට පුළුවන් වෙනවා එයාලගේ පාසලකට නවීනතම පරිගණක විද්‍යාගාරයක් සකස් කරලා දෙන්න​. අළුත්ම පරිගණක වලින් සමන්විත​. ඒ වගේම පන්ති කාමරවල ඩෙස්ක් පුටු අළුත් කරන්නත්, පුස්තකාල වල පොත් අසුරන්න පහසු කරන්න නවතම අසුරනත්, ක්‍රීඩා කරන්න ආස පොඩ්ඩන්ට සොකර් බෝල්ස් සුත් ලබා දුන්නා. ඇයි, දුර කතර ගෙවාගෙන පාසල් එන්න වෙන පොඩ්ඩන්ට පාසල් ගමන පහසු කරන්න පාපැදිත් ලබා දුන්නා. ප්‍රොජෙක්ටර්ස් වලින් සමන්විත නවීනතම ඉගැන්වීම් සඳහා භාවිත කල හැකි තිරයන් ද පන්තිකාමරවලට ඇතුලත් කලා.”

වීඩියෝව මෙහෙම ගලාගෙන යන අතරවාරයේ තමයි මිස්ටර් බීස්ට් ඉතාම අබලන් සහ අවදානම් තත්වයක තිබෙන පාලමක් දකින්නේ දරුවන් සහ වැඩිහිටියන් එහා මෙහා ගමන් කරන​. ප්‍රදේශවාසීන් පිරිසකගේත් උදව්වෙන් ඔවුන්ට​ ආරක්‍ෂිත පාලමක් සකස් කරලා දෙන්න MrBeast අමතක කරන්නෙත් නැහැ, ගම්වාසීන්ට ඉදිරි අවුරුදු සියයක කාලය කිසිදු කරදරයකින් තොරව ගමන් කල හැකි විදිහේ පාලමක් තමයි මේ. “ජීවිත ගොඩාක් ආරක්‍ෂා වෙනවා. වේදනාවෙන් හිටපු කාලය නැති වෙලා ගියා කියලා දැනෙනවා.” මේ ප්‍රාදේශීය මවකගේ ස්තූතිය පුද කිරීම​.

ඉදින් මේ වගේ වීඩියෝවක් හරහා ලැබෙන උත්ප්‍රේරකය නම් මිල කරන්න බැරි තරම්. ඒ තෘප්තිය අපි ජීවිතේ එක වරක් හෝ අත්දැකිය යුතුමයි. කෙනෙකුගේ මුවගට සිනාවක් ගෙන එන්න තමන්ට පුළුවන් තරමින් පුංචිම පුංචි දෙයක් සිදු කලත් හොඳටම ප්‍රමාණවත්. ඒ වගේ හදවත් දහස් ගණනක් එකතුවෙලා විසිරිලා ගියතැන මේ ලෝකය හැමෝටම හොඳ ජීවන තත්වයක් ගත කරන්න පුළුවන් විදිගේ සොඳුරු තෝතැන්නක් වෙලා තිබේවි. අපි අපගේ පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් ඒ සුන්දර ලෝකය නිර්මාණය කරගන්න අදිටන් කරමු!

 

Tags