විශේෂාංග
2023 ආසියානු කුසලානය පිළිබඳව ඔබ දැනගත යුතු කරුණු.
ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු 30 වනදා ආරම්භ වීමට නියමිත අතර කණ්ඩායම් 6ක් ශූරතාවය සඳහා සටන් කිරීමට සූදානමින් සිටී. තරගාවලිය සඳහා පකිස්ථානය සහ ශ්‍රී ලංකාව විසින් සම සත්කාරකත්වය දරනු ලබන අතර ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව සහ නේපාල කණ්ඩායම් සත්කාරක රටවල් ද්විත්වයට අමතරව තරග කිරීමට නියමිතය. එළඹෙන තරගාවලිය ආසියානු කුසලාන තරග මාලාවේ 16 වන සංස්කරණයයි.
2023 ACC ප්‍රිමියර් කුසලානය ජයග්‍රහණය කරමින් ආසියානු කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගත් නේපාල කණ්ඩායම අවසන් මහා තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කඩුලු 7කින් අභිබවා යනු ලැබීය. එම සුදුසුකම් ලැබීමත් සමගම මෙය නේපාලයේ මංගල ආසියානු තරගාවලිය බවට පත්ව තිබේ.
තරඟාවලිය 1984 දී ODI ආකෘතියෙන් ආරම්භ වූ නමුත්, මෑත සංස්කරණයන් තුලදී ODI සහ T20 ආකෘතීන් දෙකෙන්ම තරගාවලින් සමන්විත විය. 2023 සංස්කරණය එක්දින (ඕවර 50) තරඟයක් ලෙස ක්‍රීඩා කිරීමට නියමිතය. ඉන්දියාව ශූරතා හතක් (එක්දින හයක් සහ එක් විස්සයි 20 තරගයක්) සමඟ තරඟාවලියේ වඩාත්ම සාර්ථක කණ්ඩායම ලෙස ඉදිරියෙන් පසුවන අතර ශ්‍රී ලංකාව ශූරතා ලැයිස්තුවේ දෙවන ස්ථානය හිමි කරගනිමින් සිටින්නේ ජයග්‍රහණ හයක් (එක්දින පහක් සහ විස්සයි20 එක් තරගයක්) දිනා ගනිමින් ය. තුන්වන ස්ථානයේ පසුවන පකිස්ථානය දෙවරක් ආසියානු කුසලානය දිනා ගැනීමට සමත්කම් දක්වා ඇත.
ආසියානු කුසලාන A කාණ්ඩය
- ඉන්දියාව
- පකිස්ථානය
- නේපාලය
ආසියානු කුසලාන B කාණ්ඩය
- ඇෆ්ගනිස්ථානය
- බංගලාදේශය
- ශ්‍රී ලංකාව
කණ්ඩායම් තුනකින් සමන්විත round-robin ක්‍රමය යටතේ එක් එක් කාණ්ඩයෙන් ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් දෙක Super Four සඳහා සුදුසුකම් ලබන අතර එහිදී ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක සැප්තැම්බර් 17 වැනිදා කොළඹදී පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබනු ඇති.