විශේෂාංග
දැනට විදෙස් රටවල සිටින ලාංකික සම්භවයක් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්
මේක සමහරුන්ට හිත් රිදෙන සටහනක් වෙන්නටත් ඉඩ තියෙන්නේ ලාංකීය සම්භවයක් සහිතව වෙනත් රටවල ක්‍රීඩා කරන තාරුණ්‍යයේ ක්‍රීඩකයන් ගැන මෙය ලියැවෙන නිසායි. සිංගප්පූරුවට මැලේසියාවට නායකත්වය දුන්නු ලංකාවේ ක්‍රිකට් වීරයා වුණු මහදේවන් සතාසිවම්, පසු කාලෙක ලංකාවටම ලෝක කුසලානයක් ගේන්න උදව් වුණු එහෙත් ලංකාව අතැර ඔස්ට්‍රේලියාවට සෙල්ලං කරපු ඩේව් වට්මෝර් වගේ විශාල නම් අතරට කවදා හෝ අපි මේ අද කියන නම් එකතු වේවි කියන දුකත් එක්ක තමයි මේ සටහන කියවන්න වෙන්නෙ. ඒ මොවුන්ගේ ජයග්‍රහණවල අයිතිය අපේ රටේ කොඩිය යට තවමත් ලියවිලා නැති නිසා. ඒ වගේම කලින් කියපු පතාක යෝධයන්ගෙ නම් අතරෙ ලංකාවෙ මවකට දාව ඉපදුනු ඇෂ්ටන් අගාර් සහ ලාංකීය දෙමව්පියන්ට දාව ඉපදුනු යුවරාජ් සිංගේ ඕවරයක පළමු බෝල පහට හයේ පහර පහක් ගහපු දිමිත්‍රි මැස්කරන්හස් අමතක කරන්නත් බෑ. නමුත් ලාංකිකයන් විදියට ලාංකික සම්භවයක් සහිත මොවුන් ගැන අපිට ආඩම්බර වෙන්නට පුළුවන් වගේම මේ ගැන දැනගැනීමත් වැදගත් නිසාම මේ සටහන ලියා තබන්නට සිලෝන් ජර්නල් අප තීරණය කළා. මොකද ඔවුන් ලංකාව නියෝජනයට බොහෝ විට ඉඩ තිබීම නිසා.
ඒ වගේම මේ සටහනේදි අපි වැඩි විස්තර නොදන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන අපිට විස්තර කියන්නත්, මගහැරුණු අය ගැන කමෙන්ටුවක සටහන් කරන්නත් අමතක කරන්න එපා.
ලංකාවට සෙල්ලං කරන්න ආසයි.
අපිට මේ සටහනේ මුලටම ඇතුළත් කරන්න හිතුනෙ පුරවැසිභවේ ප්‍රශ්න නිසා ලංකාවට ක්‍රීඩා කිරීම අහිමි වූ නමුත් ලංකාවට සෙල්ලං කරන්න කැමති ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන. මේ කොටස අයිති වෙන්නෙ ෆුට්බෝල් ක්‍රීඩාවට. ෆුට්බෝල් කියන්නෙ ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව වුණාට ලංකාවට නම් ෆුට්බෝල් ලොකුවට ප්‍රසිද්ධ නෑ. ඒත් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට තමුන්ට ද්විත්ව පුරවැසි බව ලැබෙන තුරු බලා සිටින ක්‍රීඩකයන් රැසක් දැනටත් වෙනත් රටවල සිටිනවා. ඒ අතරින් මර්වින් හැමිල්ටන් සහ වසීම් රසීක් දැනටත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ වරම් දිනාගත්තත්, ස්පාඤ්ඤ සහ ඔස්ට්‍රේලියානු පුරවැසි ඔලිවර් කෙලාට්, රීස් ඩැරන්, රයන් ඩැරන්, ජෙඩා අසන්, ටොකෝඩෝ ෆ්‍රැන්සිස් සහ මුසාහිර් රසීක් වැනි නම් ප්රමුඛ අවධානයක් දිනා තිබෙනවා.
Claudio Kammerknecht
පසුගියදා ජර්මනියේ තෙවන පෙළ පාපන්දු ලීගයේ ක්‍රීඩා කරන ප්‍රබල කණ්ඩායමක් වන Dynamo Dresden වෙනුවෙන් ගෝල ද්විත්වයක් වාර්තා කර ජයග්‍රහණයක් ගෙනෙන නමක් දකින්න ලැබුණා. 24 හැවිරිදි Claudio Kammerknecht ශ්‍රී ලාංකික මවකට දාව උපන් ලංකාවේ සම්භවයක් සහිත තරුණයෙකු නිසා අපට ඔහු ගැන විශාල ආඩම්බරයක් තිබෙනවා. එසේම පසුගිය වසරේ අගදී ඔහු ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ වරමද දිනාගත්තා. පාපන්දු ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වූ සිය පියාගේ ආභාශයෙන් ක්‍රීඩාකරන ක්ලෝඩියෝ පසුපෙළ ආරක්ෂකයෙකු ලෙස ක්‍රීඩා කරනවා.
සෙහාන් සමරගුණරත්න
කටාර් රාජ්‍යය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බොහෝ දුරට අවස්ථාවක් දිනාගැනීමට නියමිත සෙහාන් සමරගුණරත්නත් අපට අමතක කරන්නට බැහැ. දැනට 19 වැනි වියේ පසුවන සෙහාන් පසුගිය වසරේ සිට කටාර් ජාතික කඳවුරේ පුහුණු කිරීම් අතරේ දකින්නට ලැබෙන මුහුණක් වෙලා. දැනට Canterbury Bankstown FC වෙනුවෙන් ක්‍රීඩාකරන සෙහාන් නුදුරේදීම කටාර් ජාතික කණ්ඩායමේ මුහුනක් ලෙසින් දකින්නට ඉඩ ලැබේවි.
උෂාන් තිවංක පෙරේරා
2015 ආසියානු කණිෂ්ඨ උස පැනීමේ ශූරයා වෙන උෂාන් මේ වෙද්දි උස පැනීමේ ශ්‍රී ලංකා වාර්තාව හා දකුණු ආසියානු වාර්තාවේ හිමිකාරයා වෙනවා (2.30m). තමන්ගෙම උත්සහයෙන් ඇමරිකානු විශ්ව විද්‍යාලයක ශිෂ්‍යත්වයක් හොයා ගන්න උෂාන් Texas A&M, Commerce කියන Division 2 විශ්ව විද්‍යාලය නියෝජනය කරමින් 2021 NCAA Division 2 උස පැනීමේ ශූරතාව දිනාගන්නවා. Divison 2 තරගාවලියේ මේ දක්වන දක්ෂතා නිසා ඇමරිකාවේ දැනට වැඩිම සිසුන් ගණනක් ඉගෙනුම ලබන Texas A&M කියන Division 1 විශ්ව විද්‍යාලයෙන් ඔහුට ආරාධනාවක් ලැබෙනවා ඔවුන්ගේ Texas A&M Aggies මළල ක්‍රීඩා කණ්ඩායමට එක්වෙන්නට. ඒ වගේම උෂාන් මේ වෙද්දි All American කෙනෙක්. ඇමරිකාවේ විශ්ව විද්‍යාලවල ඕනෑම ක්‍රීඩාවක හොඳම ක්‍රීඩකයන් 8 දෙනාව හදුන්වන්නේ All Americans කියලා. මේ වෙද්දි උෂාන් උස පැනීමෙන් All American කෙනෙක් වෙලා තියෙනවා. 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියට උෂාන් ලංකාව නියෝජනය කරමින් සහභාගි වේවි කියලා අපි විශ්වාස කරනවා.
Mathusan Sandakumar
පසුගියදා පැවති යේමනය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ ආදි නම් වූ සුරතල් නාමයෙන් හඳුන්වන අදාවන් රාජමොහාන්ගේ සුවිශිෂ්ඨ දක්ශතා දුටු නෝර්වේ U19 හා Top tier ක්‍රීඩා කර ඇති ශ්‍රී ලාංකීය සම්භවයක් තිබෙන Mathusan Sandakumar ශ්‍රී ලංකාවට ක්‍රීඩා කීරිමට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. දැනට Grorud IL හී රයිට් බැක් කෙනෙකු ලෙස ක්‍රීඩා කරන වයස අවුරුදු 25ක් වෙන මෙම ක්‍රීඩකයා නෝර්වේ රාජ්‍යයේ පුරවැසියෙක්.
Jye De Zylva
ශ්‍රී ලංකාවේ ඉපදුනු ඔස්ට්‍රේලියානු ජාතික Jye De Zylva ඔස්ට්‍රේලියානු පාපන්දු ක්‍රීඩාවේ ඉහළ දක්ෂතා දැක්වූවෙක්. මේ වෙන විට තමන්ගේම නව ව්‍යාපාර අදහසක් ක්‍රියාත්මක කරමින් සිටින ඔහු Pupnaps නමින් සුරතල් බල්ලන්ට නිදාගැනීමට හැකි සුවපහසු මෙට්ට ව්‍යාපාරයක් අරඹා තිබෙනවා.
අශිරා මරේ
18 හැවිරිදි අශිරා මරේ ශ්‍රී ලංකාවේ ඉපදුනු බ්‍රිතාන්‍ය ජාතික ටෙනිස් ක්‍රීඩිකාවක්. විශේෂ ක්‍රීඩා ශිෂ්‍යත්ව වැඩසටහනක් යටතේ ඇමරිකානු විශ්ව විද්‍යාලයක දැනට Division 1 ක්‍රීඩා කරන ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙනිස් ක්‍රීඩා කිරීමට කැමැත්ත පළ කර තිබීමත් සුවිශේෂයි.
ඊඩ්න් සිල්වා
28 හැවිරිදි ඊඩ්න් සිල්වා දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවක් වගේම සුරූපී නිරූපන ශිල්පිනියක්. රුසියානු සහ ශ්‍රී ලංකා සම්භවයක් ඇති ඇය ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල 298 වැනි ස්ථානයේ පසුවෙනවා. 2018 ඩුබායි ටෙනිෂ් ශූරතාවයට ක්‍රීඩා කර සිය අන්තර්ජාතික ක්‍රීඩා ගමන ඇරඹූ ඇය මේ වෙන විට නිරූපණ ශිල්පිනියක් ලෙසින් ද කටයුතු කරනවා.
නිරාෂ් පෙරේරා – AC Milan U17
බ්‍රසීල ජාතික රොනාල්ඩීනියෝ සහ රොනාල්ඩෝ වැනි විශාල නම් ක්‍රීඩා කළ AC Milan කණ්ඩායමේ 17න් පහළ ප්‍රධාන කණ්ඩායමට ක්‍රීඩා කරන්නට වරම් ලත් ශ්‍රී ලාංකිකයෙකු අපට සිටිනවා. එය අපට සතුටුදායක පුවතක් වගේම ඔහු තවමත් අතිශය තරුණ වියේ පසුවීමත් නැවුම් බලාපොරොත්තු ඇති කරන්නක්. ඉතාලි ජාතික නිරාෂ් පෙරේරා ලෙෆ්ට් බැක් හී ක්‍රීඩා කරනවා.
තෙනුක රණවීර
කෙන්යාවේ පළමු පෙළ කණ්ඩායමක් වන Nairobi united fc හී ඇටෑකින් මිඩ්ෆීල්ඩර් කෙනෙකු ලෙස කටයුතු කරන තෙනුක රණවීර බොහෝ දුරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවට හඳුනාගෙන ඇති ක්‍රීඩකයෙක්.
Athishajan Kamalendran
2011 වසරේ උපන් අතිශජන් Dero United TFC කණ්ඩායමට ක්‍රීඩා කරන්නෙක්. තවමත් 12 හැවිරිදි ඔහු ලොව ප්‍රබල රියල් මැඩ්රීඩ් කණ්ඩායමේ තරුණ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. දැනට ප්‍රහාරකයෙකු ලෙසින් ක්‍රීඩා කරන ඔහු සිය අවසන් තරග කිහිපයේදීම සුවිශේෂ දක්ෂතා දැක්වීම කැපී පෙනුනා.