විශේෂාංග
නත්තල් අසිරිය වර්ණවත් කල ලොව විශාලතම ඩ්‍රෝන යානා සංදර්ශණය (Video)
අමෙරිකාවේ ටෙක්සාස් හි පැවති ඩ්‍රෝන යානා යොදාගනිමින් සිදුකරනු ලැබූ විදුලි ආලෝක සංදර්ශණයක් ගිනස් ලෝක වාර්තාවන් ද්විත්වයක් පිහිටුවීමට පසුගියදා සමත් වුණා. අසිරිමත් නත්තල උදෙසායි ඔවුන් විසින් මෙම කර්තව්‍ය සිදුකරනු ලැබුවේ. විචිත්රාංග රැසකින්ම සමන්විත වූ මෙම ඩ්‍රෝන යානා සංදර්ශණයට ඔවුන් විසින් යානා 1500ක ප්‍රමාණයක් සූදානම් කොටගෙන තිබුණත්, එක් ඩ්‍රෝන යානයක් ක්‍රියා විරහිත වීම හේතුවෙන් ඉහල අහසේ අසිරිය පෑම සඳහා යොදාගත හැකි වූයේ යානා 1499ක් පමණයි.
ගිනස් වාර්තා සම්බන්ධයෙන් වන නිල වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට ලොව වැඩිම ඩ්‍රෝන යානා ප්‍රමාණයක් යොදා ගනිමින් සිදුකල විදුලි ආලෝක සංදර්ශණය වශයෙන් මෙය ගිනස් වාර්තාවන්ට ඇතුලත් වනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන ආකාරයට මෙම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම සඳහා 40 දෙනෙකුගෙන් පමණ සමන්විත කාර්ය මණ්ඩලයක් යොදාගෙන තිබෙනවා.
මෙලෙස ඩ්‍රෝන යානා මගින් මවා පෑ රූ රටා පැමිණ සිටින්නන් විශ්මයට පත් කරන ලද අතර, ඔවුන්ට ඕනෑම කෝණයක සිට එම දර්ශණ රසවිඳීමට හැකියාව ලැබී තීබීම ද විශේෂත්වයක්. පිටතට හිම පතනය වන කවුළුවක් ඉදිරිපිට විශාල නත්තල් ගසක රූපයක් ඩ්‍රෝන යානා මගින් ඉදිරිපත් කරන ලද අතර, ගිනස් වාර්තා පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරන්නේ ඩ්‍රෝන යානා යොදාගනිමින් ගුවනේ මවා පෑ විශාලතම රූපයට (Largest Aerial Image formed by multirotors / drones) හිමි ගිනස් වාර්තාව එලෙසින් පිහිටුවන ලද බවයි.
මෙම ඩ්‍රෝන සංදර්ශණයෙහි ප්‍රධාන නියමුවා වන ප්‍රෙස්ටන් වෝඩ් පැවසූවේ තමන්ගේ උපන් නගරයේදී නැවත වතාවක් ගිනස් ලෝක වාර්තාවන් දෙකක් බිඳ දැමීම පුදුම සහගත බවයි. මෙම අපූරු ඩ්‍රෝන සංදර්ශණයෙහි වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැකියි.