සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

බොරුවටත් අසරණ සරණ පුණ්‍යායතන කරන්න පුළුවන්ද?

අසරණයන්ට උදව් කරන ආයතනයක් කියන්නෙ ඕනම කෙනෙකුගෙ හිතට පහන් හැඟීමක් ගෙනෙන දෙයක්. ඒත් ඉතිං මේ දවස්වල දකින්න ලැබෙන සහ අහන්න ලැබෙන දේවල් එක්ක බලද්දි අපිට මේ විදියෙ පුණ්‍යායතන ඇත්තට ම පුණ්‍ය කටයුත්තක් සිදු කරන තැන් ද කියලා දෙවරක් හිතන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසාම පුණ්‍ය කටයුත්තක මුවාවෙන් තමුන් වෙනුවෙන් දෙයක් කරගන්න, ලබා දෙන්නන් සහ ලැබිය යුත්තන් යන දෙපිරිස ම රවට්ටන මිනිසුන් ගැන සටහනක් තබන්නටයි මේ උත්සාහය. ඔබ දන්නා, අපට සඳහන් කරන්නට නොහැකි වූ මෙවැනි වූ මගඩි ඇත්නම් කමෙන්ට් එකකින් ඒ ගැන කියන්නත් අමතක කරන්න එපා.

 

දන්න දේ

මේ තමයි පුණ්‍ය කටයුතු මගඩියේ අපි ගොඩක් අය දන්න දේ. ඒ තමයි ගත්තට නොදීම. කිලෝ ගානෙන් එකතු කරලා ග්‍රෑම් ගානෙන් ලබාදෙන මේ වගේ මගඩි රට පුරාම සිද්ධ වෙනවා. ඒ අය කමිෂන් එකක් තියාගෙන ලබා දෙන අය නෙමෙයි. මේ අය කරන්නෙ පින්තූර ටිකකට විතරක් අසරණ මිනිස්සුන්ට යම් දෙයක් බෙදා දීලා ඉතිරි කොටස තමන් ළඟ තියාගන්න එක. මේකම කමිෂන් එකට සිද්ධ කරන අයත් ඉන්නවා. ඒ අය අර අසරණ අයත් එක්ක යම් ගිවිසුමක් ගහලා තමයි මේ දේ සිද්ධ කරන්නෙ කියන එකත් ඇතැම් අවස්ථාවල එළියට ඇවිල්ලා තියෙනවා.

 

ශක්තියේ දෑත්

බොහොමයක් මාධ්‍ය ආයතන වගේම විශාල ව්‍යාපාර විසින් සිද්ධ කරන මේ දේත් මගඩියක් විදියට තමයි අපිට හඳුන්වන්න වෙන්නෙ. සාමාන්‍යයෙන් අතිශය සරළ වැඩසටහනකට එන කලාකරුවන්ට අතදිගහැරලා වියදම් කරන ඔවුන්, අසරණ මිනිස්සුන්ට හාල් පොල් ටිකක් ලබා දෙන්න විතරක් රට වැසියන්ගෙන් ආධාර එකතු කරනවා. මේ වගේ ධනවත් සමාගම් මේ කරන්නෙ ඔවුන්ගේ ප්‍රචාරණ උපක්‍රමයක් බව පැහැදිලි කරගන්න තවත් හේතු ඕන නෑ කියල අපි හිතනවා.

 

විව්ස්

මේකත් ප්‍රචාරණ වැඩකටයුත්තක් කියලා අපිට හිතන්න පුළුවන්. නමුත් මේක ප්‍රචාණයම විතරක් නෙමෙයි. ඩොලර් හොයන වැඩක්. මේකෙදි සිද්ධ වෙන්නෙ මෙහෙමයි. මේකෙදි ආධාර හොරකං කිරීමක් වෙන්නෙ නෑ. මේකෙදි සිද්ධ වෙන්නෙ මිනිස්සුන්ගෙ අනුකම්පාව සහ මිනිස්සු සමාජ මාධ්‍ය හරහා තමන්ගෙ සුදු පැත්ත පෙන්නන්න ආසා බව උපයෝගී කරගෙන තමන්ට විව්ස් ලබා ගැනීම. ඒ හරහා ඩොලර් උපයන්න මේ අයට හැකියාව තියෙනවා. ඉතිං උපයපු ඩොලර්වලින් ඉඳලා හිටලා කෑම වේලක් දීලා මේ අය ඒ අයගෙ හිතේ තියෙන ගිල්ටිය සඟවා ගන්නවා.

 

පුස්තකාලෙට පොත්

මේ විදියට තවත් කරන වෙනස් විදියේ වැඩ තියෙනවා. පුස්තකාලවලට පොත් එකතු කිරීම, අසරණ ළමුන්ට ලිපි ද්‍රව්‍ය එකතු කිරීම, කුඩා දරුවන්ට සනීපාරක්ෂක ද්‍රව්‍ය එකතු කිරීම වගේ දේවල් භාන්ඩ හා මුදල් කියන දෙවිදියටම සිද්ධ වෙනවා. මේ අය කරන්නෙ මේ භාන්ඩ අරගෙන විකුණලා සල්ලි හොයන එක. ඒ නිසාම මේවත් එක්ක එකතු වෙලා ඉන්න කඩ මුදලාලිලත් දකින්න පුළුවන්.

 

බංඩි අම්මලා –

මේ තමයි ෆේස්බුක් එකේ ඉන්න අලුත්ම වංචාකාරයො ජාතිය. බංඩි අම්මලා කියලා තමුන්ව හඳුන්වාගන්න බඩදරු අම්මලා ගොඩක් වෙලාවට කරන්නෙ අධාර ඉල්ලීම නෙමෙයි. ඒ අය කරන්නෙ ආධාර ලැබෙයි කියලා හිතන තැන්වලින් උපදෙස් පැතීම. උදාහරණ – මගේ සැමියාගේ රැකියාව නැති වුණා. මට දරුවෙක් ලැබෙන්න මාස 4යි. මට ගෙදර ඉඳන් කරන්න පුළුවන් රැකියාවක්/ මට පෝෂණීය ආහාර ලාබෙට ලබාගන්න පුළුවන් සරල ක්‍රම ටිකක්/ දරුවාට අවශ්‍ය දේවල් අඩුවට මිලදීගන්න පුළුවන් ක්‍රම ටිකක් කියන්න කියලා තමයි ඔවුන් කියන්නෙ. ඔවුන් මේ හරහා පොටෙන්ෂල් කස්ටමර්ස්ලා ටිකක් අල්ලාගෙන එයාලගෙ ඉදිරි සැලසුම වෙන දත ගැලවීම දිගින් දිගටම සිදු කරගෙන යනවා.

 

දැහැමෙන් සෙමෙන්

දැහැමෙන් සෙමෙන් මගෝඩි කරන අයත් මේ රටේ ඕන තරම්. කාලෙකට පෙර කැස්බෑව ප්‍රදේශයේදි දලදා මාලිගාවට රන් තලියක් අරගන්න උපසිකාවන්ගේ රත්තරන් මාල ඉල්ලලා තිබුණා, දැන් වැඩිහිටියන් ආශ්‍රමයක් හදන්න සල්ලි ඉල්ලනවා, ඔස්ට්‍රේලියාවෙන් රත්තරන් ඉල්ලනවා, කොරියාවෙන් බුදුමැදුරක් හදන්න සල්ලි ඉල්ලනවා, ඉතාලියෙන් පල්ලි හදන්න සල්ලි ඉල්ලනවා වගේ දේවල් දකින්න පුළුවන්. මේ සියල්ල වෙන්නෙ දැහැමෙන් සෙමෙන් ආගමක් මූලික කරගෙන. පින ගැන හිතලා ඇන්දෙන එක ඒ ඒ අයට බාරයි.

 

නොදන්නා ලෙඩෙක්

මේක නාගරිකව සිද්ධ වෙන ග්‍රාමීය වැඩක්. අතිශය අසරණ රෝගියෙක් ගමකින් හොයාගෙන, ඒ අයගෙ පින්තූර සහ සියළු විස්තර අරගෙන එන්නේ ඔවුන්ට උදව් කරන බවට පොරොන්දු කරගෙන. ඒ නිසා ලැබෙන රෝගයේ විස්තර සියල්ල සමග මුහුණු ප්‍රින්ට් කරලා ඔවුන් මාකටින් කරන්නෙ අර්ධ නාගරික පැතිවල. ඉතිං මේ විදියට මාකටින් කරලා හම්බුකරන සල්ලිවලින් අර කට්ටියටත් පොඩි ගානක් දෙන අය ඉන්නවා. සමහරු නම් අර ගමේ ඉන්න ලෙඩ්ඩුන්වත් මේ මාකටින් වැඩේට නගරෙට එක්කගෙන එනවා.

 

 

Tags