සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

බටලන්ද වධකාගාරය බවට පත් වූයේ ශ්‍රී ලංකාවේ පැවති විශාලතම යූරියා පොහොර කම්හල ද​?

අද සංවාදය බඳුන් වනුයේ ශ්‍රී ලංකාවේ ජාතික සම්පත් වලට අත්වූ ඛේදජනක ඉරණම පිළිඹිබු වන තවත් එක් කතා පුවතක් වෙතටය​​. බටලන්ද වධකාගාරය පිළිබඳව ඔබ සියලු දෙනා මේ වන විටත් තොරතුරු අසා දැන සිටින බවට සැක නැති මුත් මෙම ගොඩනැගිලි සමූහය බටලන්ද වධකාගාරය බවට පරිවර්තනය වීමට ප්‍රථම එම භූමිබාගයේ පැවති වටිනා ජාතික සම්පත කුමක් ද​? 90 දශකය මැදභාගයේ උපත ලද මා පවා සැබවින්ම මෑතක් වන තුරු මේ සම්බන්ධයෙන් දැන සිටියේ නැත​. Gen Z පරපුරේ අපගේ සහෝදර සහෝදරියන් හට​ මේ පිළිබඳව ඔවුන්ගේ දෙමාපියන් විසින් හෝ දැනුවත් කර නොමැතිනම් මෙය අරභයා​ කිසිදු අවබෝධයක් ඇති වීමට ඉඩක් නැත​. මහළු දේශපාලන පරම්පරාව විසින් අප රටේ ජාතික සම්පත් විනාශයෙන් විනාශයට පත් කොට රටක් සහ සමස්ත ප්‍රජාවක් දිළින්දන් කිරීමේ සත්‍යය අප විසින් ඔවුනට​ ලියා තැබිය යුතුම​ය​..

මෙම​ ජාතික සම්පත අන් කිසිවක් නොව ශ්‍රී ලංකාව තුල ඉදිකල යූරියා පොහොර කම්හලය​. මේ යූරියා පොහොර කම්හල ආරම්භ කෙරෙන්නේ 1975 වසරේදී ය​. එවක බලයේ පිහිටි සමගි පෙරමුණ ආණ්ඩුව විසින් රාජ්‍ය කාර්මික සංස්ථා පනත නමින් පනතක් සම්මත කරන ලද අතර, එවකට අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක නව සංස්ථාවක් පිහිටුවන ලදී. එය රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාවය​. මෙකී සංස්ථාව යටතේ 1975 දී ආරම්භ කරනු ලැබූ යූරියා පොහොර කම්හල උක්ත ආණ්ඩුව නියෝජනය කරන ලද කර්මාන්ත සහ විද්‍යා ඇමතිවරයා වන ටී. බී සුබසිංහ යටතේ ඇරඹිණ​. අද මෙන්ම එදා ද පොහොර ආනයනය සඳහා විශාල මුදලක් වැය කිරීමට රජයට සිදුවූ අතර; ඔවුන්ගේ ප්‍රතිපත්තීන් මාලාවේ යම් වෙනස්කමක් වශයෙන් සැලකිය හැක්කේ මෙකී ආනයනික භාණ්ඩයන් සහ ද්‍රව්‍ය අතරින් හැකි පමණ රට තුළම නිෂ්පාදනය සඳහා ක්‍රමෝපායන් සලසා ගැනීමය​.

සිරිමාවෝ බණ්ඩාරනායක

මෙකී දේශීය කර්මාන්ත ගොඩනැංවීමේ ප්‍රතිපත්තිය යටතේ යූරියා පොහොර කම්හලක් ආරම්භ කිරීමට එවකට රජය විසින් තීරණය කරනු ලබන අතර ඔවුන් විසින් විශාල මුදලක් ඒ සඳහා ආයෝජනය කිරීමට ද කටයුතු කරනු ලබයි. මූලික ප්‍රාග්ධනය සලසා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව හරහා ණය මුදලක් ලබා ගන්නා අතරම​, ලංකාවේ රාජ්‍ය ආයතන කිහිපයක් ද මෙකී පොහොර නිෂ්පාදන සමාගමෙහි ප්‍රාග්ධනය වෙනුවෙන් සිය​ දායකත්වය සපයනු ලබයි. පොහොර කම්හල සඳහා අවශ්‍ය කරනු ලබන අමුද්‍රව්‍ය සපයා ගැනීමේ පහසුව තකාත්, පොහොර නිෂ්පාදනයේදී අවශ්‍ය වන විශාල ජල පරිමාව සපයා ගැනීම වෙනුවෙනුත් වඩාත් සුදුසුම භූමිබාගයක් වශයෙන් සපුගස්කන්ද ප්‍රදේශයෙන් අක්කර සියයක ප්‍රදේශයක් තෝරා ගන්නා ලදී. යූරියා පොහොර නිෂ්පාදනයේදී අවශ්‍ය කරන මූලිකම අමුද්‍රව්‍ය සපුගස්කන්දේ තෙල් පිරිපහදුව හරහා සලසා ගැනීමේ පහසුව මෙහි ඇති අනෙක් වැදගත්ම කාරණය විය​.

බොරතෙල් මගින් ඛනිජ තෙල් නිෂ්පාදනය කිරීමෙන් පසුව ඉතිරිවන අතුරු නිෂ්පාදනයක් වශයෙන් (Nafta) නැෆ්තා හැඳින්වීමට පුළුවන​. වෙනත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් එය​ පෙට්‍රල් වලට වඩා ප්‍රමිතියෙන් අඩු දියරයක් වශයෙන් ද සැලකිය හැක​. මෙකී දියරය යූරියා පොහොර නිෂ්පාදනයේදී මූලික වශයෙන්ම භාවිතයට ගැණුනු අතර පෙර සඳහන් කල පරිදිම විශාල ජල පරිමාව සපුරාලීමට කැළණි ගග ආසන්නයේම ප්‍රදේශයක් උවමනා කල නිසාවෙන් සපුගස්කන්දේ අදාළ​ ප්‍රදේශය තෝරා ගැනීමට කටයුතු කෙරිණ​​. මෙම ව්‍යාපෘතිය සඳහා දායකත්වය සපයනු ලබන දේශීය සහ විදේශීය නිලධාරීන් වෙනුවෙන් නේවාසික පහසුකම් සලසා දීමට අවශ්‍ය නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට තවත් අක්කර 50ක භූමි ප්‍රමාණයක් ද​ වෙන් කර ගැනීමට කටයුතු කෙරුණි.​

මෙකී අක්කර 50ට අයත් භූමි ප්‍රදේශය හඳුන්වනු ලැබූවේ බටලන්ද යන නමින් ය​. 1975 වසරේදී කම්හල ඉදිකිරීමේ කටයුතු ආරම්භ වූවද එය නිම කිරීම සඳහා වසර 04ක කාල සීමාවක් ගතවී ඇත​. මේ අතරවාරයේදී 1977 මැතිවරණයෙන් සිරිමාවෝ ආණ්ඩුව පරාජයට පත්වන අතර එවකට පැවතුණා යයි සඳහන් වන ආහාර හිගතාවය (ආනයන සීමා හේතුවෙන් දැඩි ආහාර අර්බුධයකට එවකට රට වැසියන් මුහුණ දුන් බවට පත පොතෙහි සඳහන් ය​.) මේ සඳහා බලපාන ලද තීරණාත්මක සාධකයක් වන්නට ද​ ඇත​. එනයින්ම මේ සඳහා මූලිකත්වය ගෙන කටයුතු කල සිරිමාවෝ බණ්ඩාරනායක​, ටී.බී සුබසිංහ ඇතුළු සමස්ත ආණ්ඩුවට පොහොර කම්හලෙහි නිමාවක් දකින්නට ලැබෙන්නේ නැත​.

අළුතෙන් පත්වූ ආණ්ඩුවේ නව කර්මාන්ත ඇමතිවරයා වූයේ කළුවාදේවගේ සිරිල් මැතිව් ය​. ඔහු කැළණියෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයාය​. ඉදින් අළුතින් ඉදි කරනු ලබන මෙම පොහොර කම්හල පිහිටා තිබුණේ මොහුගේ මැතිවරණ කොට්ඨාසයට මායිම්වය​. බ්‍රිතාන්‍යය සමාගමක් ද මෙම යූරියා පොහොර කම්හල ඉදිකිරීම සඳහා දායකත්වය සපයනු ලබන අතර සඳහන් වන ආකාරයට ඔවුන් ඒ සඳහා ඩොලර් මිලියන 250ක් වියදම් කර ඇත​. තොරතුරු නිශ්චය කරගැනීම අපහසු වූව ද මෙම ව්‍යාපෘතිය සඳහා සමස්ත වියදම වශයෙන් රුපියල් මිලියන හයදහසක් පමණ දරා ඇතැයි සඳහන් ය​. මෙම යූරියා පොහොර කම්හල කොතරම් දැවැන්ත ව්‍යාපෘතියක් දැයි සඳහන් කරනවා නම් එය එවකට දෙවැනි වී ඇත්තේ එම යුගයේ කඩිනම් මහවැලි ව්‍යාපාරයට පමණක්මය​.

කම්හලෙහි පරිමාණය පිළිබඳව අදහසක් ගැනීම සඳහා එහි අඩංගුව තිබූ යන්ත්‍රෝපකරණ සහ යම් යම් උපාංග පිළිබඳව පහත සඳහන් විස්තරයෙන් ඔබට අවබෝධයක් ගැනීමට හැකි වෙතැයි සිතමි.

-රසායනික ප්‍රතික්‍රියාව සිදුවූ සද්ධන්ත කුටීරය​. (Prilling Tower)

මෙම කුටීරය විදේශයකින් ආනයනය කරන ලද්දක් වන අතර එය කොළඹ වරායේ සිට සපුගස්කන්ද යූරියා පොහොර කම්හල ඉදිවන භූමියට ගෙන එන දිනයෙහි අදාළ මාර්ගයෙහි වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවත්වා ඇත​. මෙම කුටීරය කෙතරම් දැවැන්ත ද යත් එය ප්‍රවාහනය කොට ඇත්තේ රෝද සියයකටත් අධික රථයක් මගිනි.

-මළ නොබැඳෙන සුදු යකඩ ලෝහයෙන් නිමවූ ලොකු කුඩා බට සංකීර්ණය​.

-දියර යූරියා කැට බවට පත් කරන යෝධ කොන්ක්‍රීට් කුළුණ​

මෙම කුළුණ වර්තමානය වන විටද ඔබට දැකගත හැකි අතර එය කැළණි පාලම සීමාව දක්වා පෙනෙන තරම් උසකින් සමන්විතය​.

-යූරියා කැට කල්තබා ගත හැකි ටොන් විසිදහසක යෝධ කොන්ක්‍රීට් ගබඩාව​
-බෑග් කල යූරියා තැබිය හැකි ටොන් දසදහසක ගබඩා සංකීර්ණය​
-කැළණි ගග මධ්‍යයේ ඉදි කළ විශාල ජල පොම්පාගාරය​ (Water Pumping Station)
-අංග සම්පූර්ණ වූ ගිනි හා ආරක්‍ෂක පද්ධතිය​
-වැඩහල් (Workshops)
-ආයුධ ගබඩාව​ (Armory)
-රසායනාගාර​ (Laboratories)
-වෛද්‍ය මධ්‍යස්ථාන​ (Medical Centers)
-පරිපාලන ගොඩනැගිලි (Administrative Buildings)
-බටලන්දේ අක්කර 50ක භූමි ප්‍රමාණයක ඉදිවූ නිලධාරී නිවාස සංකීර්ණය​ (Officers Housing Complex)

කම්හලෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව 1979 වසරේදී යූරියා නිෂ්පාදනය කිරීම ආරම්භ කරනු ලැබීය​. දිනකට යූරියා මෙට්‍රික් ටොන් 980ක් නිෂ්පාදනය කරනු ලැබූ මෙම කම්හල නිසාවෙන් ලංකාවට වාර්‍ෂිකව නිෂ්පාදනය කර ගැනීමට අවශ්‍ය යූරියා ප්‍රමාණය සකස් කර ගැනීම සඳහා ගතවී ඇත්තේ මාස තුනක පමණ කාලයක් ය​. මේ හේතුව නිසාවෙන් වසරේ ඉතිරි මාස 09ක කාලය පුරාවට සිය වෘත්තියේ නියලීමට නොහැකි වීමේ අවධානමක් සේවකයින්ට පැන නැගුණ​ මුත්; කම්හලෙහි ස්වභාවය අනුවම අඛණ්ඩව මාස ගණනක් ක්‍රියාත්මක වීමෙන් පසු තවත් මාස කිහිපයක් එය ක්‍රියාත්මක නොකොට නඩත්තු කටයුතු සිදු කල යුතුව තිබී ඇත​.

මේ කාලසීමාව අතරවාරයේදී යූරියා කම්හලෙහි සේවකයින්ට​, කාර්මික ශිල්පීන්ට මෙන්ම යන්ත්‍රාගාර සේවකයන් හට ද විදේශ පුහුණුවක් ලබාදීමට ආයතන පාලනාධිකාරිය විසින් කටයුතු කර ඇත​. ඒ හේතුව නිසාවෙන්ම​ විශේෂයෙන් එවකට ශ්‍රී ලංකාවේ යූරියා පොහොර කම්හලෙහි නිෂ්පාදන ගුණාත්මකභාවය ද​ ඉතාම ඉහළ මට්ටමක, ඉහළ ප්‍රමිතියක පැවතී ඇත​. ඔබ විශ්වාස කරන්න; මේ හේතු කාරණය නිසාම වෙනත් රටවලින් ද එවකට අපගේ පොහොර සඳහා ඇණවුම් ලැබීමට පටන් ගෙන ඇත​.

නමුදු මෙකී දැවැන්ත වූත් ස්ථාවර වූත් ව්‍යාපාරය සඳහා කණකොකා හැඩීම ආරම්භ වනුයේ ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමති රොනීද මැල්ගේ ප්‍රතිපත්තියත් සමගය​. තවත් ආකාරයකින් සඳහන් කරනවා නම් සැබවින්ම එය ජේ ආර් ජයවර්ධනගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය ය​. විවෘත ආර්ථික ප්‍රතිපත්තියට අනුව ලංකාවේ ආර්ථිකය ලෝකයට විවෘත වූ බවත්, එනයින්ම පිටරටවල භාණ්ඩ ලංකාවට ආනයනය කිරීම සිදුවූ බවත් ඔබ විසින් අසා දැන තිබෙනවාට සැක නැත​. තතු දත්තවුන් අදටත් පවසන ආකාරයට එම භාණ්ඩ බොහොමයක් ලංකාවට අත්‍යවශ්‍ය නොවූ සුඛෝපබෝගී භාණ්ඩය​.

ජේ ආර් ජයවර්ධන ආණ්ඩුව බලයට පත්වී ප්‍රථම අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් ඇමති රොනී ද මැල් ලංකාවට භාණ්ඩ ආනයනය කිරීම සඳහා එවකට පවත්වාගෙන ආ විදේශ විනිමය සංචිතයෙන් ඩොලර් මිලියන 70ක් නිදහස් කරන අතර, මෙයින් ගම්‍ය වන්නේම පෙර පැවති ආණ්ඩුව විශාල මුදලක් විදේශ විනිමය වශයෙන් භාණ්ඩාගාරයේ ඉතිරිකර ගොස් තිබූ බවය​. ආණ්ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියත් සමගම වෙනත් රටවලින් යූරියා අඩු මුදලකට ගෙන්විය හැකි බවට රාවයක් පැතිර යාමට ද මෙම කාල වකවානුවේ පටන් ගෙන​ ඇත​. මේ සඳහා ප්‍රධානතම හේතු සාධකය වූයේ ශ්‍රී ලංකාව තුල යූරියා නිෂ්පාදනය කරන ලද නැෆ්තා වලට වඩා ඉතාම අඩු පිරිවැයකින් ජීව වායු (Bio Gas) යොදාගෙන යූරියා පොහොර නිෂ්පාදනය කිරීමට හැකියාව පැවතීමය​.

ඒ අනුව යූරියා පොහොර අඩු මිලකට ගෙන්විය හැකි බවට යෝජනාවක් පැමිණිය ද ඒවා අප රටේ නිෂ්පාදනය කරන ලද යූරියා තරම් ඉහළ ප්‍රමිතියකින් යුක්ත වූයේ නැත​. ඒ කෙසේ වෙතත් අඩු මුදලකට යූරියා පොහොර මිලදී ගැනීමට හැකියාව පවතින අවස්ථාවක වැඩි පිරිවැයක් යොදා රට තුල යූරියා නිෂ්පාදනය කරන්නේ මන්ද යනුවෙන් විශාල කතාබහක් ආණ්ඩුව තුල ඇතිවීමට පටන් ගෙන ඇති අතර එය යූරියා කම්හල බිඳ වැටීමෙහි අඩිතාලම බවට පත් විය​. ඔබ දන්නවාද​? මේ සම්බන්ධව තතු දත් පිරිස සඳහන් කර තිබෙනා ආකාරයට අපගේ පොහොර කම්හලෙහි අති විශාල නිෂ්පාදන ක්‍රියාවලියක් ඒ වනවිටත් සිදු වෙමින් තිබී ඇත​​. නිෂ්පාදනය කරන ලද​ යූරියා වෙනත් රටවලට ද  අලෙවි කොට ඇතැයි සඳහන් ය​​.

මේ සඳහා හොඳම නිදසුනක් වන්නේ අදාළ කාල සීමාවේදී ශ්‍රී ලංකාවට බුරුමයෙන් යූරියා මෙට්‍රික් ටොන් පනස්දහසක ඇණවුමක් ලැබීමය​. ඔවුන්ගේ කොන්දේසිය වී තිබී ඇත්තේ මෙකී යූරියා මෙට්‍රික් ටොන් පනස් දහසක ප්‍රමාණය දින 30ක් ඇතුළත සැපයීමය​. කම්හලෙහි සේවකයන් දිවා රෑ නොබලා සති අන්ත මෙන්ම පෝය නිවාඩු ද කිසිවක් නොගෙන මෙකී යූරියා මෙට්‍රික් ටොන් පනස්දහසක ප්‍රමාණය දින විසි ගණනක් ඇතුළත නිෂ්පාදනය කොට බාරදීමට සමත් වී ඇත​. පොහොර රැගෙන යාම සඳහා සේන්දු වී සිටි නැව් වලට ද මේ හරහා විශාල වාසියක් සැලසී ඇත​. යම්කිසි දින ගණනකට පෙර ඇණවුම ලැබුණු නිසාම ඔවුනට ඉතිරි දින ගණන සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවී ද​ නැත​.

මේ හේතුව නිසාවෙන් අදාළ නැව් සමාගම ශ්‍රී ලංකා පොහොර නිෂ්පාදන සමාගමට විශාල බෝනස් මුදලක් ලබා දෙන ලදී. එකී බෝනස් මුදලින් කොටසක් සේවකයන්ගේ වැටුපට ද එක් කර ඇතැයි වාර්තාවන්හි සඳහන් ය​​. මෙම සමාගම කෙතරම් දැවැන්ත ද යත් පොහොර ප්‍රවාහනය කිරීම සඳහා පමණක් ඉන්දියාවෙන් ටාටා ලොරි චැසි 52ක් ගෙන ඒමට කටයුතු කර ඇත​. මෙකී ලොරි චැසි 52 සඳහා පානදුරයේ හැරිසන් නම් සමාගමකින් ලොරි බොඩි නැතිනම් බහාලුම් සවි කිරීමෙන් පසුව සපුගස්කන්දට රැගෙන ආවද ඒවා භාවිතයට ගැණුනේ නම් නැත​. එකී ලොරි රථ 52 කම්හල් පරිශ්‍රයේ ගාල් කිරීමෙන් පසුව ඒවායින් ප්‍රයෝජනයක් ලබාගැනීමට කිසිවෙකුත් කටයුතු කර නැතැයි සඳහන් ය​. ඒ වෙනුවට සිදුකර ඇත්තේ එවක එජාප ආණ්ඩුවේ හිතවතෙකු වූ ජයගිරි ප්‍රවාහන සමාගමේ ලොරි රථ සඳහා මෙම කොන්ත්‍රාත්තුව බාරදීමට කටයුතු කිරීමය​.

යූරියා ප්‍රවාහනය කිරීමේ කර්තව්‍ය වෙනුවෙන් කොළඹ නුවර ප්‍රධාන දුම්රිය මාර්ගයේ සිට අතුරු දුම්රිය මාර්ගයක් සපුගස්කන්ද දක්වා සෑදීමට ද මේ අතරවාරයේ කටයුතු කර ඇත​. නමුත් සිදුවන්නේ විශාල අපරාධයකි. එනම් සපුගස්කන්දේ යූරියා පොහොර කම්හල​ පෙනෙන මානයේදී මෙකී දුම්රිය මාර්ගය ඉදි කිරීමේ කටයුතු නවත්වා දැමීමට කටයුතු කිරීමය​​. රාජ්‍ය පොහොර සංස්ථාව​, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ බවර් සමාගම විසින් ඔවුනගේ ලොරි රථ පොහොර කම්හල ආසන්නයේ සතියේ දින හතේම පැය 24 පුරාවටම යූරියා පොහොර ගෙනයාම සඳහා ගාල්කොට තබන ලදී​. එනයින්ම පොහොර නිෂ්පාදනයේ කාර්‍යක්‍ෂම බවත්, මෙම ව්‍යාපාරයේ දැවැන්ත වපසරියත් පිළිබඳව ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතු වන්නේ නැත​. මේ අතරවාරයේදී 1984 වසර වන විට කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වය කඩ කිරීම යන චෝදනාව යටතේ එවක කර්මාන්ත හා විද්‍යා කටයුතු විෂයයන් භාරව සිටි ඇමතිවරයා වන කළුවාදේවගේ සිරිල් මැතිව් හට සිය​ ඇමතිකම අහිමී වූ බවට සඳහන් ය​.

ඔහුට නැවත දේශපාලනයෙහි යෙදීමට ද ජනාධිපති ජේ ආර් ජයවර්ධන විසින් තහනම් කරන අතර, ඒ වෙනුවට පසුකාලීනව ඔහුගේ පුත්‍රයා වන නන්ද මැතිව් සඳහා දේශපාලන මාවත විවර කර දීමට කටයුතු කරයි. එය ජේ ආර් ගේ විදිහය​. පියාට දඩුවමක් දීමත් පුතාට අවස්ථාවක් දීමත් විටෙක සිනහා උපදවන්නේ ය​. එවන් අවස්ථා ජේ ආර් ගේ පාලන සමයෙහි ඉතා සුලබ බව තතු දන්නෝ විසින් සඳහන් කර සිටිති. නව කර්මාන්ත ඇමතිවරයෙකු අළුතින් පත්කර ගන්නා ලද අතර ඔහු මීගමුවේ මන්ත්‍රීවරයා වන ඩෙන්සිල් ප්‍රනාන්දු ය​. අළුත් ඇමතිවරයා හට භාරවන මංගල කාර්‍යභාරය වන්නේ අනගි සම්පතක් වූ යූරියා පොහොර කම්හල වසා දැමීමය​. මන්ද​ ආණ්ඩුව විසින් මේ වන විටත් යූරියා පොහොර ආනයනය කිරීම සඳහා අවසරය ලබා දීම සිදු කොට අවසන් ය​​.

මෙම ක්‍රියාමාර්ගය යටතේ අඩු මිලට යූරියා පොහොර ලංකාවේ වෙළඳපල වෙත සම්ප්‍රේෂණය වූවත් ඒවා අප විසින් නිෂ්පාදනය කරනු ලැබූ පොහොර තරම් ගුණාත්මක බවින් උසස් වූයේ නැත​. අප රටේ වටිනා සම්පත් විනාශය කරා ඇදී ගියේ දේශපාලකයින් නිසාම පමණක් නොවන බව ද අවධාරණය කල යුතුමය​. එකී නීතිමය රාමූන් සකස් කිරීම සඳහා මෙන්ම මෙම පන්නයේ තීන්දු තීරණ ගැනීම උදෙසා අවශ්‍ය පසුබිම සකසා දෙන්නේ රාජ්‍ය තන්ත්‍රයේ අන්ත දූෂිත​ නිලධාරීන් විසින්ය​. නිලධාරීන් මෙසේ ක්‍රියා කරන්නේ අන් කිසිවක් නිසා නොව​, අදාළ ආනයනික සමාගම් වලින් මොවුනට ලැබෙන්නා වූ කෝටි ගණනක කොමිස් කුට්ටීන් නිසාය​. කාලයක් පිටරටින් මෙලෙස පොහොර ආනයනය කරමින් බෙදාහරින අතරවාරයේදී තවදුරටත් සපුගස්කන්ද පොහොර කම්හලක් පවත්වාගෙන යන්නේ මන්ද යන ගැටළුව සාකච්ඡාවට බඳුන් වෙන අතර, එහි අවසානාත්මක තීරණය වශයෙන් ආණ්ඩුව මෙම කම්හල විකුණා දැමීමට එකගතාවයකට පැමිණෙන්නේය​.

එහි දිගුවක් වශයෙන් 1986දී අන්තර්ජාතික මිල ගණන් කැඳවීමක් ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබයි. මුල් කාලීනව ඒ සඳහා අන්තර්ජාතික වශයෙන් සාධනීය පිලිතුරක් නොලැබෙන මුත් ඊට පසු අවුරුද්දේ දී එනම් 1987 දී කැබිනට් මණ්ඩලය සංශෝධනය වීමක් සිදුවන අතර නව කර්මාන්ත ඇමතිවරයා වශයෙන් පත්වන්නට ඇත්තේ කවුරුන් ද​? ඒ අන් කවරෙකුවත් නොව තමාට රැකීමට පරපුරක් නැතැයි යනුවෙන් පාරම් බාන ලද ජේ ආර් ජයවර්ධනගේ බෑනා වන රනිල් වික්‍රමසිංහය​. රැකීමට පරපුරක් නැති බව තේමා පාඨය කරගනිමින් එලෙස පැමිණි ජේ ආර් බියගම ආසනය සඳහා තම බෑණා වන රනිල් වික්‍රමසිංහව ඉදිරිපත් කරද්දී කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමට ලක් නොකිරීමද විටෙක පුදුම සහගතය​. රනිල් වික්‍රමසිංහ මැතිවරණයට ඉදිරිපත් කිරීමෙන් පමණක් නොනවතින ඔහු සිය ප්‍රථම කැබිනට් මණ්ඩලය පත් කිරීමේදී රනිල් වික්‍රමසිංහ සඳහා නියෝජ්‍ය විදේශ ඇමතිකමද පිරිනමනු ලබයි. එයිට ටික කාලයකට පසුව යෞවන කටයුතු සහ රැකී රක්‍ෂා ඇමතිකම ද තවත් කාලයකට පසුව අධ්‍යාපන අමාත්‍යංශය ද ඔහුටම භාර කෙරෙන අතර​ සිදුවීම් මාලාවේ කේන්ද්‍රස්ථානය වන කර්මාන්ත අමාත්‍යංශය ද භාර වන්නේ ඔහුටමය​.

එකල ජේ ආර් ජයවර්ධන සහ රනිල් වික්‍රමසිංහ​.

දැන් ආරම්භ වන්නේ කොටින්ම කියනවානම් දැවැන්ත ආයෝජනයකින් පසුව ඉදිකිරීම් නිම කර, යූරියා නිෂ්පාදන ක්‍රියාවලියට දායක වූ සහ​ රටට විදේශ විනිමය ගෙන හැකිව තිබූ මෙන්ම,​ ආර්ථික ක්‍රියාවලිය ප්‍රසාරණය කිරීම සඳහා රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් අද දක්වාම ලබාදිය හැකිව තිබූ යූරියා පොහොර කම්හලෙහි මලගමය​.

කර්මාන්ත ඇමතිවරයා වන රනිල් වික්‍රමසිංහ මෙම යූරියා පොහොර කම්හලෙහි සියළු යන්ත්‍ර සූත්‍ර විකිණීමේ ක්‍රියා පටිපාටියට එලඹෙන්නේ මේ අතරවාරයේය​. කම්හල මිලදී ගැනීම සඳහා කිසිදු සමාගමක් ඉදිරිපත් නොවන්නා වූ පසුබිමක ඒ සඳහා කර්මාන්ත ඇමතිවරයා වන රනිල් වික්‍රමසිංහ විසින් ගන්නා වූ තීරණය වන්නේ කෝටි ගණනක් වටිනා වූ කම්හලට අයත්වන දැවැන්ත යන්ත්‍ර සූත්‍ර විකුණා දැමීමය​. ඔහු මෙම කටයුත්ත භාර කරනුයේ තවත් ඔහුගේම ඥාතියෙකුටය​. ඔහු ඩී එස් සේනානායක අගමැතිවරයාගේ මුණුබුරෙකු වූ අශෝක සේනානායකය​. ඔහු එම කර්තව්‍ය කෙතරම් හොඳින් ඉෂ්ඨ කරන්නේ ද කිවහොත් යූරියා පොහොර කම්හලෙහි වටිනා යන්ත්‍ර සූත්‍ර විකුණා දමන්නේ අබලි යකඩ වශයෙන් තක්සේරු කොටය​. මෙම අබලි යකඩ තොගය මිලට ගනු ලබන්නේ ඉන්දියාවේ Southern Petroleum Industries Corporation යන සමාගමය​. මීටත් අමතරව කම්හල තුල අති දැවැන්ත සන්නිවේදන පද්ධතියක් පැවතුණු අතර එය නවීන සන්නිවේදන උපකරණ වලින් සමන්විත වූවක් විය​. මේ සියල්ල විකුණා දමන්නේ පරණ වයර් වශයෙන් ය​. කෙතරම් අපරාධයක් ද​? පැරණි වයර් මිලදී ගන්නා වූ මිල ගණන් යටතට එම ගණුදෙනුව සිදුවී අවසන් ය​. ඔබ දන්නවා ද​? යූරියා පොහොර කම්හලෙහි යන්ත්‍ර සූත්‍ර පැරණි යකඩ වශයෙන් මිලට ගත් Southern Petroleum Industries Corporation සමාගම මෙකී යන්ත්‍ර සූත්‍ර සියල්ල රැගෙන ගොස් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජමිල් අලී නම් ආයෝජන කලාපයෙහි සවි කරන ලද බව​..

කර්මාන්තශාලාව ස්ථාපිත කිරීමෙන් පසු ඔවුන් විසින් එක් දිනකට යූරියා පොහොර මෙට්‍රික් ටොන් දහසක් පමණ නිෂ්පාදනය කර ඇතැයි වාර්තා වල සඳහන් ය​. ඉන් පසුව සිදුවූ හාස්‍යජනකම කරුණ ඔබට සිතා ගත හැකිද​? ඔවුන් විසින් එම පොහොර ලංකාව වෙතටම නැවත අපනයනය සිදු කර ඇති බවට ඉතිහාසය සාක්‍ෂි දරනුයේය​. කොටින්ම සඳහන් කරනවා නම් විශාල සම්පතක් වූ අපගේ පොහොර කම්හල අප රටේ පාලකයන් විසින් පරණ යකඩ වලට විකුණා, එම කම්හල අරාබියේ සවි කිරීමෙන් පසු නිෂ්පාදනය කරන ලද යූරියා පොහොර මිලදී ගැනීමට කටයුතු කොට ඇත​​. මොන තරම් දීන ජාතියක් ද​? 2048දී දියුණු රාජ්‍යයක් බවට ශ්‍රී ලංකාව පත් කරනවා යැයි ප්‍රතිඥා දෙන නායකයින්ගේ දැක්ම ගැන තවත් නිදසුන් කුමට ද​? කරුණු සඳහන් පරිදි යූරියා පොහොර කම්හල ආරම්භ කිරීම සඳහා ආයෝජනය කරනු ලබන මුදල ලිපියේ මුලින් සඳහන් කර ඇති ආකාරයට රුපියල් මිලියන 6000ක් පමණය​. නමුත් වසරකට ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන යූරියා පොහොර ආනයනය කිරීම සඳහා ඊටත් වැඩි මුදලක් දැරීමට සිදුවී ඇත​. ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් ලබා ගෙන ඇති ආසන්නතම සංඛ්‍යා ලේඛණ තොරතුරු වාර්තා අනුව 2020 වසරේදී ලංකාවට ආනයනය කර තිබෙන යූරියා ප්‍රමාණය මෙට්‍රික් ටොන් දෙලක්‍ෂ හැටපන් දහසකි. ටොන් එකක් සඳහා ගෙවීම් කර ඇති මිල ගණන් වන්නේ $249ක් ය​.

මීලගට සිදුවන්නේ ‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ’ වන අපගේ පුරාතන කියමන තවදුරටත් සනාථ වන සිදුවීමක් ය​. එය නම් එවකට ලෝක වෙළඳපලෙහි Bio Gas මිල සීඝ්‍ර ලෙස ඉහල යාමය​. එනයින්ම අපගේ පොහොර කම්හලෙහි සිදුකරන ලද නැෆ්තා වලින් යූරියා නිපදවීමේ ක්‍රියාවලියටත් වඩා වැඩි මිලකට යූරියා ආනයනය කිරීමට රජයට සිදුවිය​. පොහොර සංස්ථාව විසින් දක්වා තිබෙන සංඛ්‍යා දත්ත අනුව 2020 වසරේදී යූරියා පොහොර ආනයනය නොකොට අප රට තුලම නිෂ්පාදනය කර ගත්තා නම් ඉතිරි කර ගත හැකිව තිබූ මුදල අවම වශයෙන් ගත් කල ඩොලර් මිලියන 71කි.

යූරියා පොහොර කම්හලෙහි අවසන් කටයුතු සියල්ලම පාහේ සිදුකරනු ලැබුවේ කර්මාන්ත අමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ය​. ඔහුගේ කාලය තුලදී මෙම රාජ්‍ය පොහොර නිෂ්පාදන සංස්ථාව ඈවර කිරීමත් කම්හල් පරිශ්‍රයේ ඉදිකර තිබූ නිවාස සංකීර්ණය තමන් යටතට පත් කර ගැනීමත් සිදුකරගනු ලැබීය​. කර්මාන්ත අමාත්‍යයංශය යටතේ තිබෙන දේපලක් හෙයින් එය තමා යටතට පත්කර ගැනීමේ නීතිමය ගැටළුවක් ද ඔහුට පැන නැගුණේ නැත​. සඳහන් වන ආකාරයට මෙම නිවාස සංකීර්ණය අධි සුඛෝපභෝගී නිවාස වලින් ද සමන්විතව තිබී ඇත​. ඒ මන්ද යත් යූරියා පොහොර කම්හලෙහි ඉදිකිරීම් කටයුතු සඳහා මෙන්ම නිෂ්පාදන උපදේශකවරුන් වශයෙන් ද බ්‍රිතාන්‍ය ජාතික නිලධාරීන් එවකට ලංකාවට පැමිණ සිටි නිසාවෙන් ඔවුනගේ භාවිතය සඳහාය​. මෙම නිවාස සංකීර්ණය එවකට හඳුන්වා ඇත්තේ පුංචි එංගලන්තය යන නමින් ය​.

පිහිනුම් තටාකයන්ගෙන් මෙන්ම අති නවීන පහසුකම් වලින් සමන්විත වූ මෙම නිවාස සංකීර්ණය සඳහා වෙනම සුපිරි වෙළඳ සංකීර්ණයක් පවා තිබී ඇත​. රනිල් වික්‍රමසිංහ කර්මාන්ත ඇමති මෙම නිවාස සංකීර්ණය තමන් යටතට පවරාගැනීමෙන් ද නොනැවතී එහි තිබූ වඩාත් හොඳම නිවාසය නොහොත් සංචාරක බංගලාව ද තමා යටතට ගෙන ඇත​. තවත් එක් නිවසක් ද ඔහු විසින් පවරාගෙන ඇත​. ඉතිරි නිවාස තමාගේ අතිශය සමීප වූ දේශපාලන ගජ මිතුරන් හටත්, එම නියැදියේම පොලිස් නිලධරයින් සඳහාත් පදිංචිය සඳහා ලබා දීමට ද කටයුතු කොට ඇත​. මෙකී හිතවතුන් අතරේ යූ එන් පී යේ ජාතික සේවක සංගමයේ ඇතැම් නිලධාරීන් ද සිට ඇති අතර එනිසාම මෙම නිවාස සංකීර්ණයට පසුකාලීනව බටලන්දේ අලිවාඩිය යනුවෙන් නමක් ද පටබැඳී ඇත​.

උපුටා ගැනීම – කාරිගේ චැනලය​

උපුටා ගැනීම – කාරිගේ චැනලය​

ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සඳහන් කරනා ආකාරයට ඉහතින් දැක්වෙනුයේ ඔහුට ලබාගත හැකිවූ සහ අනාවරණය වූ තොරතුරු කිහිපයක් පමණය​. මෙම ලැයිස්තුව වනාහි මීට වඩා විශාලත්වයකින් යුතු බව මතක් කල යුතුමය​. කර්මාන්ත ඇමති රනිල් විසින් මෙම නිවාස සංකීර්ණය සිය ආධිපත්‍යයට නතු කර ගැනීමෙන් පසුව ඒ වෙතට කිසිදු බාහිර පුද්ගලයෙකුට ඇතුළු වීමට ඉඩකඩ සලසා දී නැත​. නිවාස සංකීර්ණයේ කොටසක් වෙන් වන්නේ යුධ හමුදාවටය​. අනෙත් කොටස වෙන් වන්නේ පෑලියගොඩ පොලීසියේ පිහිටුවා තිබූ කඩාකප්පල්කාරී ක්‍රියා මර්ධන ඒකකය වෙතය​. මොවුන් පසුකාලීනව ආණ්ඩුවට එරෙහිව ක්‍රියා කරන ලද දේශපාලන ක්‍රියාධරයන් මර්ධනය සඳහා මෙම ඒකකය උපයෝගී කොටගත් බවද අනාවරණය වී තිබේ. ලංකාවේ භීෂණ යුගය ලෙසින් හැඳින්වෙන 1987-89 කාල වකවානුවේදී විශාල තරුණ ජීවිත සංහාරයක් සිදුවූ බව ඔබ කවුරුත් දන්නා කරුණකි.

මෙකී බටලන්ද නිවාස සංකීර්ණය වද කඳවුරක් බවට පත් වන්නේ මෙම කාලයේදීය​. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරකම් වලට එරෙහිව, ආණ්ඩුව විසින් අනුග්‍රහය දැක්වූ සහ ඔවුනගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු සංවිධාන කිහිපයක සාමාජිකයන් හටද මෙම සංකීර්ණයේ නිවාස ලබාදීමට කටයුතු කර ඇත​. කළු බළල්ලු, කහ බළල්ලු සහ ප්‍රා යනු එවන් සංවිධානයන් ය​. වද​ කඳවුර පිළිබඳව සාකච්ඡා කිරීමට මතුවට ඉඩ තබමින් ඔබව දැනුම්වත් කිරීමේ අපේක්‍ෂාව වූයේ දැවැන්ත ජාතික සම්පතක්ව පැවති ලංකාවේ යූරියා පොහොර කම්හලට අත්වූ ඉරණම පිළිබඳව වටහා දීමය​.

මූලාශ්‍ර සපයා ගැනීම : ධර්ම ශ්‍රී කාරියවසම් මහතා.

Tags