සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

ලෝ ප්‍රකට ස්ත්‍රී ලෝලීන්

ස්ත්‍රීලෝලීන් ගැන කතා කරද්දි වුමනයිසර් කියන වචනෙන් අපිට විදේශිකයන්ව හොයන්න වෙනවා. මොකද ලංකාවෙත් ප්‍රසිද්ධ ස්ත්‍රීන් ලෝලීන් හිටියට ඒවා ගැන කතා කරන එක නඩු යන වැඩක් නිසා. ඒ නිසා ජය ශ්‍රී ලාගේ අප්‍රකට වුමනයිසර් ගීතය අහන ගමන් ම මේ සටහන ලියමු. වුමනයිසර්ලව හඳුන්වන්න දොන් ජුවන් කියන නම යොදාගන්න බව හැමෝම දන්න දෙයක්. අන්තිම කාලෙ ආපු දොන් ජොන් චිත්‍රපටයත් ඒකට සාක්ෂි දරනවා. හැබැයි ඔය කියන දොන් ජුවන්ට වඩා ගෑණුන්ගෙ හිත් සහ ශරීර එක්ක පෙමින් වෙළුන චරිත ටිකක් ගැන තමයි අපි මේ කියන්න යන්නෙ. ලෝකයේ ප්‍රකට ක්‍රීඩකයින්, නළුවන්, ගායකයින් වැනි පිරිස පිරුණු මේ ලැයිස්තුවේ අපි විසින් ඇතුළත් කර නොගත්තු ප්‍රකට දේශපාලනික චරිතත් ඉන්නවා. ඇත්ත වශයෙන්ම සත්‍යයක්දැයි දකින්න, සොයන්න අපහසු වීමේ හේතුව උඩ ගැහැණුන් තිස්පන්දහසක් සමග ආලිංගන කාරියේ යෙදුනු ඇතැම් දේශපාලනික චරිත අපි මගහරින්නේම ඒ නිසා. ඊටත් වඩා තමුන්ට වඩා වැඩිමල් ගැහැනුන් තෝරාගන්නා, බාල ගැහැනුන් තෝරාගන්නා ආකාරයේ නොයෙක් වූ තෝරාගැනීම් ඇති අයවත් අපි මගහරින්නට උත්සාහ කළා.

ජෙංගීස් ඛාන්


කවුද හිතන්නෙ මෙයා මේ ලැයිස්තුවේ උඩින්ම ඉඳීවි කියලා. මොකද මෙයාව ප්‍රසිද්ධ රමණයට නෙමෙයි, මරණයට. 1630දි දොන් ජුවන් ගැන කතා ආවට, ඊට සියවස් ගාණකට කලින් හිටපු මොංගෝලියානු යුදකාමී ඒකාධිපතියා ගැහැණුන් හා ගෙනගිය සම්බන්ධතා අතිවිශාල ඉමකට ගෙනගිහින් තියෙනවා. ඉතිහාසය අරගෙන බැලුවම මිනිසුන් මිලියන ගණනින් මරා දැමූ ලේ පිපාසිත ඒකාධිපති මිනීමරුවෙක් විදියට තමයි ජෙන්ගීස් ඛාන්ව හඳුන්වන්නෙ. ඔහුගේ ස්ත්‍රී ආලෝලනයේ තරම කොතරම්ද කියනවා නම් රුසියානු විද්‍යාඥයින්ට අනුව ජෙංගීස් ඛාන්ගේ ජානමය පුරුක් මේ වෙද්දිත් මිලියන 16ක් පමණ ලෝකයේ සිටින බවයි කියැවෙන්නෙ. ඉතිං හිතාගන්නකො තත්ත්වෙ.

හියු හෙෆ්නර්


මෙයා මේ ලිස්ට් එකේ නැති වුණොත් අපිට ඊළඟට ඒ වෙනුවෙන් ඔයාලට උත්තර දෙන්නත් වෙයි. මොකද මෙයා ඒ තරමටම මේ වැඩේට ප්‍රසිද්ධයි. එයාව ප්‍රසිද්ධ වෙන නමෙන්ම දන්නවනෙ. ප්ලේ බෝයි කියන්නෙ මොකද්ද කියල අමුතුවෙන් කියන්න ඕන නැහැ. සමහරු කියන විදියට නං හෙෆ්නර්ගෙ මේ ස්ත්‍රීන් කෙරෙහි වූ අධික පෙළඹවීම ඇතිවුනේ ඔහුගේ පළමු බිරිඳ ඔහු හමුදා සේවයේ යෙදී සිටපු 1950 කාලයේදී ආරම්භ කරපු අනියම් පෙමක් නිසාලු. ඒ කොහොම වුනත් බොහෝදෙනෙක් කාන්තාවන්ගෙ රුවගුණ දකින්න ඔහුගේ සඟරාව මිළදීගත්තා වගේම ඔහුගේ චරිතයත් බොහෝ කාන්තාවන් හා ඇළුනු පෙම්වත් සම්බන්ධතා එක්ක ගලාගිය බව නං රහසක් නෙමෙයි.

ජාකොමෝ කැසනෝවා


නයිට්වරයෙක්, වයලීන් වාදකයෙක්, දේශාඨකයෙක්, වගේම දේශපාලනයටත් සම්බන්ධ නොයෙක් හැකියාවන් තිබ්බ ප්‍රේමණීය මිනිසෙක් විදියට කැසනෝවා හඳුන්වන්න පුළුවන් වුණත් වුමනයිසර් කියන නමෙන්ම තැන තැන කියවුණු නමක් තමයි ජාකොමෝ කැසනෝවා කියන්නෙ. වෙනත් දේකින් ප්‍රසිද්ධ නොවුනත්, ඔහුගේ ජීවිත කතාව ලියපු ස්වයං චරිතාපදානය ඒ කාලයේ ජන ජීවිතය පිළිබඳ පැහැදිලි චිත්‍රයක් පෙන්නනවා. රාජකීයයන් වගේම ලෝකයේ ප්‍රමුඛ මිනිසුන් සහ වෘත්තීයවේදීන් ආශ්‍රය කරපු කැසනෝවා, තමුන්ගෙ නොගිණිය හැකි තරම් විශාල ආදර සම්බන්ධතාවලට පෙළඹුම ලබන්නේ තරුණ සොයුරියන් දෙදෙනෙකු සමග යෙදෙන ආලිංගන සුපහසින් පසුවයි. එතැන් පටන් ඔහු විවිධ තැන්වල සංචාරය කරමින්, ස්ත්‍රී සුපහස විඳිමින් කල් ගෙවනවා.

විල්ට් චේම්බර්ලින්


ගැහැනියක අමුතුවෙන් කැමති කරගන්න මහන්සියක් වෙන්න ඕන නැති පෞරුෂයක් හිමි සුප්‍රකට බාස්කට්බෝල් ක්‍රීඩකයා ගැනයි මේ කතාව. යොවුන් වියේ තරුණියන් අතින් සිද්ධ වෙච්ච බැහැර කිරීම නිසාම NBA බාස්කට්බෝල් ක්‍රීඩකයෙක් වුණු විල්ට් චේම්බර්ලින් තමන්ගේ අධික ස්ත්‍රී ලෝලී ජීවිතයට ඇතුළු වුණු බවයි කියවෙන්නෙ. ගණනින් කියතොත් ඔහු කාන්තාවන් 20,000කට අධික පිරිසක් සමග ආදර සම්බන්ධතා පවත්වා තියෙනවාලු. ඒ වගේම ඔහු දුටු සැනින් කාන්තාවක් ඔහු වෙත පොළඹවා ගැනීමක් කරන්නට පුහුණුවක් තිබුනු මිනිසෙක් කියලයි කියන්නෙ. ඇත්තටම ඉතිං අතිශය ලස්සන ස්ලෑම් ඩන්ක් එකක් තරම්ම ආටිස්ටික් වැඩක් විදියට ස්ත්‍රිය‌කගේ ආදර සුපහස දිනාගන්න ගහන ගේම් එක හඳුන්වන්න පුළුවන්නෙ. ඔහු බලන විදිය තමයි මැජික් එක.

පැබ්ලෝ පිකාසෝ


කෙල්ලෙක් යාළු කරගන්න එක කලාවක් නම් පිකාසෝ තමයි ඒකෙ පිකාසෝ. අමුතුවෙන් කියන්න ඕන නෑ අපි දන්නවනෙ පිකාසෝ ප්‍රසිද්ධ චිත්‍රකාරයෙක් කියල. ඒ මදිවට පුංචි කාලෙ අපේ ඇහැට ලස්සනයි කියන චිත්‍ර ඇඳපු, පස්සෙන් පහු විකාරරූපී රුවකට තමුන් දන්න කලාව වෙනස් කරපු ඔහුගෙ චිත්‍ර ගැන වගේම ප්‍රසිද්ධ කතා ඔහුගේ ස්ත්‍රී සම්බන්ධතා ගැනත් තියෙනවා. ෆර්නාන්ඩ්, ඊවා, ඔල්ගා, මාරි-ටිරීස්, ඩෝරා, ෆ්‍රැන්කොයිස්, ජැක්ලීන් විදියට ඔහුගේ ජීවිතයට සම්බන්ධ ප්‍රධානම ගැහැණුන් දක්වන්න පුළුවන්. ඒ හැරෙන්නට ඔහුගේ ආදරය අහිමි වීමෙන් ඇතැමුන් සියදිවි නසාගත්තා වගේම ඇතැමුන් අතිශයින් ශෝකීව කල් ගෙවූ බවත් සඳහන් වෙනවා. ඔහු කාන්තාවන් ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශ බොහෝමයක් ඉදිරිපත් කරලත් තියෙනවා.

ජැක් නිකල්සන්


සුප්‍රකට හිනාවක් හිමි, කතාබහක් හිමි, අනන්‍ය හැසිරීමක් සහ දැඩි පරාසයක නළුකමක් හිමි හැමෝම දන්න ඔස්කා සම්මාන කිහිපයක්ම දිනපු අති දක්ෂ නළුවෙක් තමයි නිකල්සන් මහත්තයා. ඒ හැරෙන්නට නිකල්සන් කියන්නෙත් ගැහැණුන්ගෙ හිත කියන සම්මානෙත් දිනාගත්තු දක්ෂයෙක්. ඔහුගේ හිනාවට බොහෝ කාන්තාවන් වශී වුණු බවයි පැවසෙන්නෙ. ඔහුට අනුව ඔහු සෑම වයස් කාණ්ඩයකම කාන්තාවන් හා ලිංගිකව එක් වූ බව කියනවා. එසේම ඔහු ඇතැම් ලඳුන්ගෙන් නොනැවතී ඒ ලඳුන්ගේ මවුන් සමගත් සබඳතා පැවැත්වූ බව පවසනවා. මේ අර අපි නොකියානවා කියපු එක් තෝරාගැනීම් කාණ්ඩයක කියන්නට තීරණය කරපු කාණ්ඩයක්.

මීට අමතරව ජෝජ් ක්ලූනි, ටයිගර් වුඩ්ස්, වොරන් බීටි, චාලි ෂීන් වගේ සුප්‍රකට නම් මේ සටහනට ඇතුළත් වෙන්න උවමනා වුණත්, සටහන තවතවත් දිගු වෙන නිසාම අපි මේ නම් පමණක් සඳහන් කරලා කතාව නවත්තනවා.

Tags