විදෙස් පුවත්
දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතය පැය දෙකකට සීමා කිරීමට චීනය සැලසුම් කරයි.

වයස අවුරුදු 18ට අඩු නව යොවුන් වියේ පසුවන්නන් සහ ළමුන් සඳහා ඔවුන්ගේ ජංගම දුරකථනවල ගත කළ හැකි කාලය සීමා කිරීමට චීනය විසින් නව ක්‍රියාමාර්ග මේ වන විට යෝජනා කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාවන්හි දැක්වේ. චීනයේ සයිබර් අවකාශ පරිපාලනාධිකාරිය විසින් මෙම යෝජනාව හඳුන්වා දී ඇති අතර දරුවන් අන්තර්ජාලයට ඇබ්බැහි වීමට ඇති ප්‍රවණතාවය අවම කිරීමත් සදාචාරමය සහ සාමාජයීය වටිනාකම් ඔවුන් තුළ ඔප්නැංවීමත් මෙම තීරණයේ මූලික අරමුණ වශයෙන් සඳහන් කර තිබේ.
මෙම ක්‍රියාවලිය “minor mode” වශයෙන් වැඩිදියුණු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන අතර, ඒ ඒ වයස් කාණ්ඩ මත පදනම්ව පරිශීලක කාලය නොහොත් Screening Time දිනකට උපරිම වශයෙන් පැය දෙකකට සීමා කෙරෙනු ඇති. සියලු ජංගම දුරකථන උපාංග, ඒවාට බාගත කල හැකි යෙදුම් (Apps) සහ අදාළ App Stores වෙත minor mode ඇතුළත් වන අතර අනවශ්‍ය තොරතුරු සඳහා ළමුන් නිරාවරණය අවම කිරීම යෝජනාවේ තවත් එක් අරමුණකි.
එරට නීති කෙටුම්පත් ප්‍රසම්පාදනය යටතේ මෙම තීරණය පිළිබඳව සැප්තැම්බර් 2 වැනිදා දක්වා මහජන සාකච්ඡාව උදෙසා විවෘතව පවතින බවද වැඩිදුරටත් සඳහන් වේ. අනුමත වීමක් සිදු වුවහොත් minor mode යටතේ ළමුන් සඳහා තම ජංගම දුරකථන භාවිතා කල හැකි වන්නේ පහත සඳහන් ක්‍රමවේද වලට අනුකූලවය.
- රාත්‍රී 10ත් උදෑසන 06ත් අතර කාලය තුල ළමුන්ට තම දුරකථන තිරයන් වෙතට ප්‍රවේශ විය නොහැක.
- අවුරුදු අටට අඩු දරුවන්ට දුරකථනය භාවිත කළ හැකි කාල සීමාව දිනකට විනාඩි 40කි.
- වයස අවුරුදු 8 සහ 16 අතර දරුවන්ට දුරකථනය භාවිත කළ හැකි කාල සීමාව පැයකි.
- වයස අවුරුදු 16ත් 18ත් අතර නව යොවුන් වියේ පසුවන්නන් සඳහා දුරකථනය භාවිත කළ හැකි කාලය පැය දෙකකි.
- සියලුම වයස් කාණ්ඩවලට විනාඩි 30කට වඩා වැඩි කාලයක් තම උපාංගය භාවිත කිරීමේදී සිහිකැඳවීමක් (Reminder) යොමු වේ.
කෙසේ වෙතත් දෙමාපියන්ට මෙන්ම අධ්‍යාපනික සහ හදිසි තත්වයන් තුල දී මෙම කාල සීමාවන්ට යටත් වීම් වලංගු නොවන බව ද වැඩිදුරටත් දැක්වේ.