දේශීය පුවත්
දකුණේ පාතාලය පිටුපස ක්‍රියාත්මක වන්නේ දේශපාලන හස්තයක් ද?

දකුණු පලාත ආශ්‍රිතව ඉවක් බවකින් තොරව තරගයට මිනීමරා ගැනීමේ සංස්කෘතියක් බිහිව ඇති අතර මෙම ගැටීම සිදු වනවා යැයි වාර්තා වන්නේ කොස්ගොඩ සුජී සහ රත්ගම විදුර යන පාර්ශවයන් අතර ය. මොවුන් දෙදෙනාම විදේශයන්හී සැගවී සිටිමින් සිය කල්ලි කණ්ඩායම් මෙහෙයවනු ලබන අතර දෙපාර්ශවයේම ඥාති පිරිස් සහ සමීපතමයින් ඔවුන්ගේ ගොදුරු බවට පත්වී ඇත. මෙම ඝාතන රැල්ල ක්‍රියාත්මක වීමේ මූලිකම හේතුව බවට විශ්වසනීය ආරංචි මාර්ග විසින් දක්වා තිබුණේ, ප්‍රධාන පාර්ශවයන්ගේ එකිනෙකාට රිදවීමටත් මත්ද්‍රව්‍ය ජාවාරමේ කිරුළ හිමිකර ගැනීම පිණිසත් ය.
දකුණු පලාත ආශ්‍රිතව සීඝ්‍රයෙන් වැඩිවන අපරාධ රැල්ල පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා විසින් දැක්වූ අදහස් මෙසේය.
“දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවො ගත්තත්, දැනට විදේශ ගතව ඉන්නව කියල හඳුනගෙන තියෙන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවො ගත්තත් සැලකිය යුතු පිරිසක් දකුණු පලාතෙ. එය පාලනය කිරීම සඳහා තමයි පොලිස් විශේෂ කාර්ය බලකායෙ කණ්ඩායම් පවා ඒ ප්‍රදේශ වලට යෙදුවෙ. විශේෂයෙන්ම ස්ථානාධිපතිවරු සහ කොට්ඨාස භාර නිලධාරීන් මේ තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරල කටයුතු කල යුතු බවට පොලිස්පතිතුමා උපදෙස් දීල තිබෙනවා. ඒ ඒ ප්‍රදේශ වල ඉන්න ප්‍රධාන සංවිධානාත්මක අපරාධකරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හඳුනාගෙන ඔවුන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් සම්බන්ධව අත්අඩංගුවට ගැනීම් සහ නීතිය ක්‍රියාත්මක කිරීම් කල යුතුයි කියන කාරණය.”
“දේශපාලනික වශයෙන් මේ තත්ත්වයන් මැඩලීම සඳහා කිසිම ආකාරයක බලපෑමක් ලැබිලා නැහැ. විදේශ වල රැඳිල ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යම්කිසි ආරක්‍ෂාවක් ලබා ගන්නව විදේශ රටක රැඳී සිටීම හරහා. එය සඳහා අවශ්‍ය කරන මූලික පියවරනුත් මේ වන විට ක්‍රියාත්මක වනවා. නීතිමය වශයෙන් ඔවුන්ව මෙම ක්‍රියාදාමයට හසුකර ගැනීම සඳහා අවශ්‍ය වන ක්‍රියාමාර්ගත් මේ වන විට ගනිමින් පවතිනවා.”