දේශීය පුවත්
රාජිත සේනාරත්නගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
අල්ලස් කොමිසම විසින් තමා අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළේ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු සහ අල්ලස් කොමිසමේ නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.
මෙම පෙත්සම පිළිබඳව කරුණු සලකා බැලීම අවසන් කිරීමෙන් පසුව එහි නියෝගය අද (18) පස්වරු 2ට ප්‍රකාශයට පත් කරන බවද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් අද දහවල් නිවේදනය කර තිබුණා.
ඉන්පසුව අදාළ නඩුකරය පස්වරු 2ට පමණ විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ මෙම නියෝගය පසුව ප්‍රකාශයට පත් කරන බවයි.
ඉන් අනතුරුව මෙම නඩුකරය සවස 3.20ට පමණ මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී සිය තීන්දුව ප්‍රකාශයට පත්කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පැවසුවේ අදාළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.
මෙම අපේක්ෂිත ඇප පෙත්සම අද දහවල් සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා.
“ස්වාමීනී කිරින්ද ධීවර වරායේ පිරී තිබෙන වැලි ඉවත්කොට පිරිසිදු කර ඒවා වෙළඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා කොරියානු සමාගමක් විසින් 2012 වසරේ මැයි මස 19 වනදා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. එසේ ඉවත් කරන වැලි කියුබ් එකක් සඳහා රුපියල් 300 මුදලක් ධීවර වරාය නීතිගත සංස්ථාවට ගෙවීමටත් එම සමාගම එකඟ වී තිබෙනවා. මෙම යෝජනාව අදාළ සමාගම ඉදිරිපත් කර තිබෙන්නේ එවක ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රාජිත සේනාරත්න මහතාට. මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට පෙර එය මූල්‍ය රෙගුලාසිවලට අනුකූලව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කළ කමිටුවක් හරහා අනුමැතිය ලබාගත යුතුයි. නමුත් එවැනි අනුමැතියක් ලබා නොගෙන මෙම පෙත්සම ඉදිරිපත් කරන හිටපු අමාත්‍යවරයාගේ නියෝගයකට අනුවයි ධීවර වරාය නීතිගත සංස්ථාව එය ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. එසේම මෙය වැලි සම්බන්ධ කටයුත්තක් නිසා මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් පාරිසරික ඇගයීම් වාර්තා ලබාගත යුතුයි. එහෙත් එවැනි වාර්තාවක් ලබා ගෙන නැහැ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේත් අනුමැතිය ලබාගෙන නැහැ. මෙලෙස අනීතික ආකාරයෙන් තමයි මේ ව්‍යාපෘතිය සැකකාර රාජිත සේනාරත්න මහතා විසින් සිදු කර තිබෙන්නේ. පසුව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ සමාගමට වැලි ඉවත් කිරීමට අවශ්‍ය පහසුකම් කිසිවක් තිබුණේ නැහැ. ඉන් පසුව ඔවුන්ට එම කටයුතු කරගෙන යාමට ධීවර වරාය සංස්ථාව සතුව තිබූ “වැලිගෝව්වා” නමැති නෞකාවත් ඔවුන්ට ලබාදීමට සිදු වුණා. මෙම කරුණට අදාළව අදාල කොරියානු සමාගමෙන් වන්දි ඉල්ලා කොළඹ වාණිජ මහාධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙන බව සැකකරු තමන්ගේ ඇප ඉල්ලීමේ සඳහන් කර තිබෙනවා. ඒ නඩු පැවරීම සිද්ධ කරලා තිබෙන්නේ වැලිගොව්වා නෞකාවට සිදු වූ හානිය වෙනුවෙන් පමණයි. එම නඩුවෙන් වන්දි ලෙස ඉල්ලා තිබෙන්නේ රුපියල් මිලියන 15ක මුදලක්. එහෙත් එම නෞකාවට සිදුවූ සැබෑ හානිය රුපියල් මිලියන 26ක් පමණ වෙනවා. සමස්තයක් වශයෙන් මේ ව්‍යාපෘතිය තුළින් රජයට රුපියල් ලක්ෂ 262 කට වැඩි පාඩුවක් සිදුවෙලා තිබෙනවා” යනුවෙන් සඳහන් කළ සහකාර අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රාජිත සේනාරත්න මහතාට දැනුම් දුන්නද ඔහු රෝගී තත්ත්වයෙන් පසුවන බව සඳහන් කරමින් කොමිසමට නොපැමිණි බව කියා සිටියා.
වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළ බව පැවසුවද එය විධිමත් වෛද්‍ය වාර්තාවක් නොව බෙහෙත් තුන්ඩුවක් යැයි පෙන්වා දුන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය මොහු හිතාමතාම ප්‍රකාශ ලබාදීම මඟ හරිමින් සිටින බව මෙම අපේක්ෂිත ඇප පෙත්සම ප්‍රතික්ෂේප කර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
ඉන්පසුව රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කරුණු දක්වා සිටියා.
“ස්වාමීනි මේක පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයාගේ හිතුමනාපයට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් නෙවෙයි. ඒ සඳහා 2008 සහ 2012 යන වසර වල මේ වැලි කැණීම් කටයුතු සිද්ධ කරන්න කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඒ අනුවයි මේක ක්‍රියාත්මක වුණේ. එසේ නොමැතිව ඔහුගේ පුද්ගලික තීරණයක් මත ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් නෙවෙයි. අද අල්ලස් කොමිසම එක් එක් අයගේ ඕනෑ එපාකම් අනුවයි කටයුතු කරන්නේ. ඔවුන්ට පුද්ගලයින්ව අත්අඩංගුවට ගැනීම සඳහා විශාල පිපාසයක් තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෑතකදී නිකුත් කළ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරල තිබුණත් සැකකරුවන්ට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරුන්ට බලය තිබෙනවා. ඒ නිසා පැමිණිල්ල ඉල්ලා සිටි පමණින් සැකකරුවන් රිමාන්ඩ් කරන්න එපා කියලා මම අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”
දෙපාර්ශවයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළා.
