දේශීය පුවත්
අලි සබ්රි ඉන්දු කැනඩා ගැටුමට ශ්‍රී ලංකාව ඇද දමන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ දේශපාලකයින් යනු පුදුම සහගත පිරිසකි. දේශපාලනික අර්බුදය එහි උච්චතම අවස්ථාවට තල්ලු වී, ආර්ථිකය කඩා වැටීමට ලක්වී, රට බංකොලොත් වී තිබූ පසුබිමක සියලු දේශපාලන නායකයින් ජාත්‍යන්තර ප්‍රජාවෙන් උදව් ඉල්ලා සිටි ආකාරය ඔබට මතක ඇත. ඒ අවස්ථාවේ ලෝකයේ බොහෝ රටවල් ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීම වෙනුවෙන් පෙළගැසුණු අතර, සමහරක් රටවල් සිය භූ දේශපාලනික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහාත් තවත් රටවල් සැබෑ මිත්‍රශීලී චේතනාවෙනුත් ඒ වෙනුවෙන් ඉදිරිපත් වූහ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දක්වාම කියා සිටින්නේ ශ්‍රී ලංකාව සියලු රටවල් සමඟ යහපත් සබඳතාවක් පවත්වන බවත් කිසිදු පැත්තක් නොගන්නා බවත්ය. නමුත් අනපේක්ෂිත පියවරක් ලෙස විදේශ අමාත්‍ය අලි සබ්රි විසින් ඊයේ දිනයේ ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරන ලද අතර, එය ශ්‍රී ලංකාවට කිසිසේත් අදාළ නොවන කරුණක් වන මෑතකදී ඇති වූ ඉන්දු – කැනඩා මතභේදාත්මක සිදුවීම සම්බන්ධයෙනි.
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රජාව සමග පවත්වාගෙන යන නිල දැක්ම සහ ස්වභාවය අනුව සසඳන විට ඔහුගේ මෙම ප්‍රකාශයේ යම් ආවේගශීලී බවක් දක්නට ඇත. ඉන්දියාවට එරෙහි චෝදනා සම්බන්ධයෙන් සබ්රි විසින් කැනේඩියානු අගමැති Justin Trudeau හට දරුණු ප්‍රහාරයක් එල්ල කරන ලදී. සැබවින්ම ගත් කල මෙම කාරණයට ලංකාවට මැදිහත් වීමේ අවශ්‍යතාවක් කිසිසේත්ම නැත.
සබ්රි පවසා සිටින්නේ සමහර ත්‍රස්තවාදීන් කැනඩාව සිය ආරක්‍ෂක තෝතැන්නක් වශයෙන් පත්කරගෙන ඇති බවය. “කැනේඩියානු අගමැතිතුමාට තිබෙන්නේ කිසිදු සාක්‍ෂියක් නැතිව මේ විදිහේ සාහසික චෝදනා ඉදිරිපත් කිරීම්. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔවුන් කළ දේත් ඒකමයි. ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදුවූ බව ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.”
“අපේ රටේ ජන සංහාරයක් සිදු නොවූ බව කවුරුත් දන්නවා. මම දැක්කා ඊයේ ඔහු දෙවන ලෝක යුද්ධයේදී පසුගිය කාලයේ නාසීන් සමඟ සම්බන්ධ වූ කෙනෙකුට උණුසුම් පිළිගැනීමක් ලබා දෙනවා. සමහර අවස්ථාවන් වල මේ විදිහේ සාහසික සහ සනාථ කල නොහැකි චෝදනා අගමැති Trudeau ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මම පුදුම වෙන්නේ නැහැ.”
දේශීය කටයුතු සම්බන්ධයෙන් සබ්රි විසින් Trudeau ට අදාළව මතු කරන කාරණා පිළිගත හැකි නමුත්, ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ඉන්දියාව සහ කැනඩාව අතර පවතින අර්බුදකාරී තත්ත්වයන් වෙනුවෙන් මැදිහත් වීම අනවශ්‍ය කරුණක් වශයෙන් පෙනෙන්නට තිබේ. මෙම කරුණට මැදිහත්වීම හරහා කැනඩාව පාර්ශවයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සබඳතා තවදුරටත් දුර්වල කිරීමට මග පාදනු ඇත.
ජනාධිපති වික්‍රමසිංහ විසින් තම විදේශ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය පිළිබඳ කුමන මතයක් දරනු ඇති ද? මක්නිසාද යත් ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශයන් ගත්විට එකිනෙකට පරස්පරය. ශ්‍රී ලංකාවට වර්තමානයේ අභ්‍යන්තරික අර්බුද රාශියක් විසඳා ගැනීමට ඇති පසුබිමක මෙසේ රාජ්‍යයට බල නොපාන අනවශ්‍ය කාරණා වෙනුවෙන් මැදිහත් නොවී සිටීම වඩා වාසිදායක බව පෙනෙන්නට තිබේ.