එදිනෙදා ජීවිතය
නොදැන ෆාස්ටින් නොකරනු!

මේ කාලෙ ෆේස්බුක් පැත්තෙ ගියොත් බහුලව කතාවෙන වචනයක් විදියට දකින්න පුළුවන් දෙයක් තමයි ෆාස්ටින්. ඒ ඇයි කියලත් අපි කියලම ඉන්නම්. මේ කතාව ආරම්භ වෙන්නෙ ෆේස්බුක් සමූහයක් හරහා ඉක්මනින් බඩ බස්සන්න කෑම ක්‍රමයක් හඳුන්වා දුන්නු දොස්තර මහත්මයෙක් එක්ක. එතුමා දෙනවා අලුත් චැලෙන්ජ් එකක්. ඒ තමයි පැය 72ක් කෑම නොකා ඉන්න එක. ඉතිං මේක කරපු සමහර අයට අමාරු වෙනවා. මේ වැඩේ නියැළුනු කට්ටියගෙන් අව සීනි මට්ටමේදී මිනිසුන්ගෙන් දකින්න පුළුවන් විදියෙ කලබලකාරී ප්‍රතික්‍රියා දකින්න පුළුවන් වෙනවා. අන්න ඒ නිසාම දැන් ෆාස්ටින් ගැන කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ නිසාම අපි ලියන්න හිතුවා නොමග නොයනු කියන අදහසින් යම් සටහනක්.
සටහන පටන් ගන්න කලින් පුංචි දෙයක් කියන්න තියෙනවා. අපි වෛද්‍යවරු නෙමෙයි. මේ අපි කියන්නෙ වෛද්‍යවරුන්ගෙන් සොයාගත්තු අදහස්. ඒනිසා මේ කියන ඕනම දෙයක් හොයලා බලලා තමුන්ට ගැලපෙන විදියට විශ්වාස කරන්න කියන ඉල්ලීමත් අපි කරනවා.
මුලින්ම කියන්න වෙන්නෙ පොදු කතාවක්. ඒක ෆාස්ටින්වලට විතරක් නෙමෙයි. හැම දේටම පොදුයි. ඒ තමයි ඕනම දෙයක් ඕනාවට වඩා ඕනෑම නෑ කියන එක. ඒ නිසා එක පාරට කවුරුහරි කියපු නිසා දවස් තුනක් කෑම නොකා ඉන්න එපා. හැමදේම ටික ටික පුරුදු වෙලා කරන්න පුළුවන් තත්ත්වයක් තියෙයි. ඒක නිකං ඇවිද ඇවිද හිටපු මනුස්සයෙක්, නිකමට හිතිලා මැරතන් එකක් දිවුවා වගේ.
මොන වෙලාවටද නවත්තන්නෙ?
ෆාස්ටින්වල නොයෙක් විදි තියෙනවා. පිටි හා සීනි පරිභෝජනය නැවැත්වීම, දවසේ තෝරාගත් කාල පරිච්ඡේදයක පමණක් ආහාර ගැනීම, රාත්‍රී ආහාර වේල නොගැනීම වගේ ක්‍රම අත්හදා බලන නොයෙක් අය තමන්ටත් හරි ගිය නිසා අනුන්ටත් හරි යාවි කියන මතයේ සිට නොයෙක් හඳුන්වා දීම් සිද්ධ කරනවා. ඔය කියන දේවල් අත්හදා බලන එක තම තම නැණ පමණින් කරන එක වටිනවා. මොකද ඒකෙන් තමුන්ට ගැලපෙන සහ පහසු ක්‍රමයක් හමුවෙන්න ඉඩ තියෙන නිසා. අන්න ඒ නිසා ඔය කියන දෙයක් කරගෙන යද්දි ඒක හරියන්නෙ නැත්තං නවත්තන්නෙ මොන වෙලාවටද කියන දේත් දැනගන්න ඕන. මේ කියන්නෙ ඒ ගැන.
වගතුවක් නැත්තං – අපි මේක කරන්නෙ නිරෝගීව ඉන්න සහ කෙට්ටු වෙන්නනෙ. ඉතිං කාලයක් ගිහිල්ලත් ඒක නොවෙනවා නම් වැඩේ නවත්තන්න.
අමාරුයි නම් – ඇත්තටම මේ කරගෙන යන දේ ආසාවකින් කරගෙන යන්න පුළුවන් වෙන්න ඕන. මුලින් තරමක් අමාරු වුණත් අපිට හුරු වෙන්න පහසු වෙන්න ඕන. මේ දේ එහෙම නොවෙනවා නම් ඒ කියන්නෙ ඔයාට ඒක ගැලපෙන්නෙ නෑ කියන එකයි.
තවත් අමාරුයි නම් – ෆාස්ටින්වලට අපිට එන්නෙ අපේ බඩ වැඩි නිසා. හැබැයි ෆාස්ටින් පටන් ගත්තට පස්සෙ අපිට හුස්ම ගන්න අමාරුයි නම්, පපුව රිදෙනවා නම්, නින්ද නොයනවා නම් ඒ කියන්නෙ බඩ අඩු නොවෙනවා මදිවට අපිට තවත් අපහසුතා ඇති වෙලා කියන එක. ඒ නිසා එහෙම වෙලාවක මේ දේ නවත්තලා වෙනස් විදියක් හොයා බලන එක වටිනවා.
නරක පුරුදු ඇති වෙනවා නම් – සමහරු ඉන්නවා නේ විනෝදාංශයට කන බොන. ඉතිං එහෙම අය මෙහෙම දඩෝං ගාලා කෑම කන එක නැවැත්තුවාම එයාලගෙ ජීවිතේ විශාල සන්තෝසයක් ජීවිතෙන් නැති වෙනවා. අන්න ඒ නැති වුණු සන්තෝසය ලබා ගන්න ඒ අය වෙනත් නරක පුරුදුවලට යොමු වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම හිතෙන හෝ සිද්ධ වෙන මුල් අවස්ථාවේම කෑම ටිකක් කාලා, කරන්න පුළුවන් වෙනස් දෙයක් හිතන්න.
හරි නොයන්න හේතු මොනවද?
මේ වැඩේ ඔයාට හරි නොයන්නත් හේතු කිහිපයක් තියෙනවා. ඕකට මූලිකම හේතුවක් තමයි මුල අමතක වීම. ඒ තමයි අපි මේ වැඩේ කරන්න පටන් ගත්තු මූලික හේතුව. ඒ තමයි කෙට්ටු වීම. අපිට ඒක අමතක වෙලා අපි අපිවම රවට්ටගන්න උත්සාහ කරන එක තමයි ඔය කියන ෆාස්ටින් වැඩ අල වෙන්න බලපාන මූලික ම කාරණය.
කන්න තියෙන ටිකේ – ෆාස්ටින් කරන වෙලාවේ ෆාස්ටින් කරලා කන්න තියෙන කාල රාමුවෙ කන්න තියෙන නරකම විදියෙ පිටි, සීනි, ලුණු සහ තෙල් ජාති කෑවොත් ඉතිං ඒකෙන් කිසිම වගතුවක් වෙන්නෙ නෑ අපි කියපු මූලික කාරණයට.
හයියෙන් හයියෙන් – නින්ද නොයන අයට දෙන බෙහෙත් පෙති ගොඩක් අරගෙන, හොඳට නින්ද යාවි කියලා එක පාරම බිවුවොත් මොකද වෙන්නෙ? අන්න ඒ වගේ මේකටත් ආසාව තිබුණා කියලා හදිස්සි වෙන්න එපා. පොඩියට හෙමීට පටන් ගන්න.
වැරදි ප්ලෑන් – ඕනම වැඩක් අල වෙන්න බලපාන තවත් එක් පොදු සාධකයක් තමයි වැරදි ප්ලෑන් එක. ඉතිං අපි හරි ප්ලෑන් එක තෝරා නොගත්තොත් මේ වැඩේ වගේම ඕන ම වැඩක් වරදින්න පුළුවන්.
අපි අද කතා කළේ ෆාස්ටින් නොදැන නොකළ යුත්තේ ඇයි කියන එක ගැන. ඉදිරියේදී මේ ගැන තවත් සටහන් කිහිපයක්ම ගෙන එන බළාපොරොත්තුවක් අපිට තියෙනවා.