සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

සියදිවි හානි කරගැනීම් වළක්වාගන්නට නම්…

පසුගිය කාලයේ සමාජජාල වෙබ් අඩවි තරමක් ශෝකයෙන් පිරිලා තිබුණෙ. ඒ තරුණ ජීවිත කිහිපයක් ම සියදිවි හානි කරගැනීම් නිසා නැති වී යාමත් එක්ක. අපි අද කතා කරන්න යන්නෙ මෙන්න මේ කියන අපරාදය අවම කරන්න අපිට සමාජයක් විදියට කරන්න පුළුවන් ​දේ ගැනයි. ඒ වගේම මේකෙදි අපි අපි විදියටත්, අපේ හිතේ තියෙන හැඟීම් වඩා සාධනීය විදියට එළියට දාගන්න එක ගැන කතා කරන්නත් සූදානම්. එනිසා සියදිවි හානි කරගැනීමක් සිදු වුණාට පස්සෙ, ඒක ඉතිං එයාගෙ කැමැත්ත කියලා අතපිහදාගැනීමට තරම් අවමයකට නොවැටී අපි ඒ වෙනුවෙන් කරන්න තියෙන දේ අභාග්‍යයක් සිද්ධ වෙන්නට කලින් ඉටු කරමු.

මේ සටහනටත් ඔබේ අදහස් එකතු කරන්න අමතක කරන්න එපා. අපි කතා කරමු මේ යට ගැසිය යුතු රැල්ල, යළි ඉහ එසවන්නට නොහැකි ලෙස යට ගැසිය හැකි ක්‍රමයක් ගැන.

 

ලක්ෂණ මොනවාද?

සියදිවි හානි කරගන්න ඉඩ තියෙන කෙනෙකුගෙ මූලික ලක්ෂණ ගැන අපි හොයලා බැලුවොත් ඒ අතරින් කැපී පෙනෙන දේවල් කිහිපයක් ම තියෙනවා. ඔවුන් කල්පනා කරමින් ඉන්න පෙළඹෙන තරම වැඩියි. මේක සාමාන්‍යයෙන් හදිසියේ ම ඇතිවෙන තත්ත්වයක් වෙන්නටත් පුළුවන්. ඒ නිසා ඔබේ හිතමිතුරන් සහ ළඟින් ඉන්න අය ගැන කල්පනාවෙන් ඉන්න මේක හොඳ නිරීක්ෂනයක් වේවි. ඒ වගේම තමුන්ගෙ වටිනා කියන දේ අන් අයට බෙදා දෙමින් ඉන්නවා නම්, ඒකත් දිවි නසාගැනීමේ සැලැස්මක් ඇති බව පෙන්වන එක් ප්‍රධාන ලක්ෂණයක්. ඒ වගේම තමන් අවට අයගෙන් නිතර ම සියදිවි නසා ගැනීම පිළිබඳව තොරතුරු විමසන, උදාහරණයක් විදියට  “ඔයාලා මම නැති වුණොත් අඬනවද? මැරෙන්න ලේසි ම විදිය මොකද්ද? දිවිනසාගන්න එක ගැන මොකද හිතන්නෙ?” යනාකාරයෙන් විමසන අය ගැනත් ඔබ සැළකිලිමත් විය යුතුයි. ඒ වගේම බොහෝ වෙලාවට තනිව සිටින්නට ප්‍රිය කරන සහ නින්ද අහිමි වූ පුද්ගලයන් වුණත් සියදිවි නසා ගැනීමට ඉඩ ඇති බවට පැවසෙනවා.

 

පිරිමි වැඩි ඇයි?

සියදිවි හානි කර ගැනීම් ගැන කතා කරද්දි පහුගිය කාලය පුරාවටම වැඩි ප්‍රමාණයක් මේ ගැන අහන්න ලැබුණේ සහ සංඛ්‍යා දත්ත පවා පෙන්වන්නේ පිරිමින් වැඩි ප්‍රතිශතයක් දිවිනසාගෙන ඇති බවයි. මෙයට ප්‍රධාන කොට දක්වන හේතු කිහිපයක් ම පෙන්වනවා. ඒ අතර දරුවන් වැඩිපුරම අම්මාට ලඟ වීම, පිරිමින් ප්‍රශ්න කියන්නට සහ අඬන්නට ලැජ්ජා වීම සහ එසේ කිරීමේදී සමාජයෙන් ලැජ්ජා කිරීම, කාන්තාවන්ගේ ප්‍රශ්න හාරවුස්සා සෙවීමට ඕනෑතරම් පිරිස හිටියත් පිරිමියෙකුගේ ප්‍රශ්නයක් සමාජය ගනන් නොගැනීම මේ අතරින් ප්‍රධානයි. ඉතිං ඒ හේතු මේ ප්‍රතිශතය නංවන්නට හේතු වෙන්නට ඇති.

 

අවදානම

ඒ වගේම සිය දිවි හානි කරගැනීමට වැඩි අවදානමක් සහිත පිරිස ගැනත් අපි අවදානය යොමු කළ යුතුයි. මේ වගේ සිද්ධ වෙන්න මූලිකව ම ඉඩ තියෙන ප්‍රධාන පිරිසක් තමයි දැඩි ලෙස මත්පැනට යොමු වූවන්. මොකද ඔවුන් නොයෙක් වූ මනෝ භ්‍රාන්තිකයන්ගේ සැරිසරන නිසා ඔවුන් අතින් වැරදීමකින් හෝ මෙවැන්නක් සිදු විය හැකි ඉඩ වැඩියි. තවදුරටත් මේ දේ සිද්ධ වෙන්නට ඉඩ ඇති අනිත් පිරිස තමයි පවුලේ හෝ ළඟ හිතවතෙකුගෙන් මෙවැනි සියදිවි නසා ගැනීමක් අත්විඳි අය. මොකද ඔවුන් එය සිදු කරගන්නේ කෙලෙසද ව​ගේම, සියදිවි නසා ගැනීම නිසා අන් අය දක්වන ආකල්ප ගැනත් ඒ වන විට හොඳින් දැනුවත් වෙලා අවසන්. මේ නිසා එවැනි අය ඔබ හඳුනනවා නම් ඔවුන් ගැන වැඩි විමසිල්ලකින් පසු වීම යෝග්‍යයි.

 

කතා කරමු

ඉතිං මේ විදියෙ ලක්ෂන පෙන්වන හෝ අවදානමක් සහිත අය ඔබ අවට සමාජයේ දකින්නට ලැබෙනවා නම් ඔවුන් සමාගම කතා කිරීම සහ ඔවුන්ගේ සිතැඟි දැනගෙන සිදු වෙන්නට තියෙන අපරාදයක් වළක්වන්නට ඔබටත් හැකියාව තිබෙනවා. මේ නිසා ඔබ අවට සමාජය ගැන වැඩි අවධානයකින් පසු වෙන්නට මෙම සටහන උදව්වක් වේවි කියලා අපි හිතනවා ඒ වගේම මේ කතා කිරීමත් හදිස්සියකින් හෝ කෙලින්ම ප්‍රශ්න අසා විමසීමකින් තොරව වැඩි සංයමයකින් සිදු කළ යුත්තක් බවත් අපි වැඩිදුරටත් ඔබට සිහිපත් කරනවා. මේ වගේ ම ඒ ලක්ෂණ තියෙන අය ගැන නිතර සොයා බැලීමත් වැදගත්. මොකද එය පවා ඔවුන්ගේ සිතට සහනයක් වෙන්නට ඇති ඉඩ හැකියාව වැඩියි.

 

කතා කරන්න යොමු කරමු

ඉහත කියපු ලක්ෂණ ඔබට හෝ ඔබේ සමීපතමයෙකුට තිබෙනවා නම් ඔබ චුට්ටක්වත් බය වෙන්න එපා. ඔබේ තත්ත්වය ඔබට සමීප කෙනෙකුට කියන්නට නොහැකි නම්, හෝ ඔබ දන්නා අයෙකුගෙ තත්ත්වය ඔබට විමසන්නට නොතේරෙනවා නම්, CCCline හි 1333 හෝ සුමිත්‍රයෝ හි 011 2692909, 011 2696666, 011 2683555 වැනි උපකාර සේවාවක් ඇමතිය හැකියි. එයට ඇමතුම් ගන්නට මුදල් වැය නොවන අතර ඔවුන් ඔබේ රහස් රකිමින් මිතුරෙක් ලෙස ප්‍රශ්නවලට සවන් දේවි.

Tags