සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ප්‍රංශය සහ ලංකාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ගිවිසුමට අත්සන් තැබේ

ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධ ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

මීට අදාළ නිල අත්සන් තැබීමේ උත්සවය ඊයේ (16) කොළඹ දී පැවැත්වුණා.

මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ප්‍රංශ ජනරජය සහ ශ්‍රී ලංකාව අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ප්‍රංශ ජනරජය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම සම්බන්ධව සාක්ෂි දරන බවයි.

ජපානය සහ ඉන්දියාව සමඟ නිල ණය හිමි කමිටුවේ සම සභාපතිත්වය දරමින් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නායකත්වය ලබාදීමේ දී ප්‍රංශ ජනරජය වැදගත් කාර්ය භාරයක් ඉටු කර ඇති බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා සහයෝගය දැක්වීමේ දී එහි නායකත්වය කැපවීම සහ ඵලදායී මැදිහත් වීම මඟින් දායකත්වය ලබාදී ඇති බවද මෙම නිවේදනයේ සඳහන්ව තිබෙනවා.

ද්විපාර්ශ්වික ණය ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන මහතා සහ ප්‍රංශ ජනරජය වෙනුවෙන් බහුපාර්ශ්වික කටයුතු, වෙළඳ හා සංවර්ධන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම්, භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජනරාල්, විලියම් රූස් මහතා විසින් මෙම ගිවිසුම සඳහා අත්සන් තබා ඇති බව වාර්තා වනවා.

Tags