සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මියන්මාර ත්‍රස්ත ග්‍රහණයේ සිටින ලාංකික පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් ව්‍යර්ථ වෙයි.

මියන්මාරයේ Cyber Criminal Area හෙවත් සයිබර් අපරාධ ප්‍රදේශයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඇතුළු අනෙකුත් පිරිස මුදා ගැනීම සඳහා අද දින (21) විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. ඒ මියන්මාරයේ සයිබර් වහලුන් මුදා ගැනීමේ රාජ්‍ය නොවන සංවිධානයක මැදිහත්වීමෙන්. නමුත් එම උත්සාහය සාර්ථක නොවූ බවටයි වාර්තා වන්නේ.

මියන්මාරයේ තායිලන්ත දේශ සීමාවේ පිහිටි Cyber Criminal Area හෙවත් සයිබර් අපරාධ ප්‍රදේශය ලෙස හඳුන්වන ස්ථානයේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 56 දෙනෙකු බලහත්කාරයෙන් රඳවා සිටීමට අදාළ පුවත් අවස්ථා කිහිපයකදීම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් වාර්තා වී තිබුණා. මියාවෙඩ්ඩි නගරයේ සිට කිලෝමීටර් 25ක් දුරින් පිහිටා ඇති මෙම ප්රදේශය සම්පුර්ණයෙන්ම ත්රස්ත කණ්ඩාමක් ග්රහණයේ පැවතීම හේතුවෙන් ශ්රී ලංකා තානාපති කාර්යාලයට ඔවුන් මුදාගැනීම සඳහා දැඩි උත්සාහයක් දැරීමට සිදුව තිබෙනවා.

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් පසුව පිරිස මුදා ගැනීම සඳහා සහය වීමට එකගතාව පලවී තිබුණා. මේ අනුව අද දිනයේ පිරිස මුදා ගැනීමට උත්සාහ දැරූ අතර එය සාර්ථක නොවූ බවටයි වාර්තා වන්නේ. පසුගිය වසරක කාලය තුල ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සංචාරක වීසා භාවිත කර තායිලන්තයට රැගෙන යන මෙම ජාවාරම පිටුපස සිටින පුද්ගලයන් පිළිබඳව එම ග්‍රහණයෙන් පලා ආ තරුණයෙකු විසින් අනාවරණය කරනු ලැබුවා.

“අපිට කිව්වේ තායිලන්තේ බැංකොක් වල තියෙනවා කියලා Data Entry Job එකක්. අපෙන් ඒකට ලක්‍ෂ හතර හමාරක් ගත්තා. ප්‍රභාත් විජේසිංහ කියන කෙනාගේ එකවුන්ට් නම්බර් එකට අපිට සල්ලි දාන්න කියලා දුන්නේ. වැඩ කරන තැන බැංකොක් වල ඉඳන් කිලෝමීටර් 30 එළියට තියෙනවා කිව්වේ. විසිට් වීසා වලට අපිව ගෙනිහින් එහෙදී ජොබ් වීසා වලට කන්වර්ට් කරලා දෙනවා කිව්වා. එක බැජ් එකක අට දෙනෙක් හිටියා. හතර දෙනෙක්ට තමයි මුලින්ම ටිකට් දාලා දුන්නේ. අපිට දවස් දෙකකට කලින් ඒ අය ගියා. ඒගොල්ලො කිව්වා බැංකොක් වල ඉඳන් ගොඩක් එලියට යනවා. මගදි වාහනේ මාරු කලා වගේම ගගකිනුත් යන්න තිබ්බා. ආමි එකේ අය වෙපන්ස් එහෙම තියාගෙන හිටියා. අපිට තේරුණා බෝඩර් ක්‍රොස් කරලා මියන්මාර් වලට යන පාරක් කියලා. “

පාර්ශව ගණනාවකින් දැනටමත් මෙම නූතන මිනිස් ජාවාරමට අදාළ තොරතුරු රැසක්ම​ අනාවරණය කර තිබෙනවා.

වහා විමර්ශණ ආරම්භ කර අප රටේ තරුණ තරුණියන් ඩොලර් වලට ත්‍රස්තවාදීන්ට විකුණා දමන මෙම ජාවාරම​ මැඩ පැවැත්වීමට පියවරක් ගත යුතු නොවේද​?

Tags