සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

ඔයත් අවුරුදු කාලෙදි මේ වගේ වාත අත්විඳලා තියෙනවාද?

අපි කලින් සටහනකත් ලියපු විදියට අලුත් අවුරුද්ද කියන්නෙ අනිත් හැම නිවාඩු කාලෙකටම වඩා ආතල් නිවාඩු කාලයක්. මේ ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. හැබැයි ඉතිං සතුට කියන දේ එක්ක ම ඒක නැති කරන්න හේතු වෙන දුක කියන කාරණා ටිකකුත් අපි ගාවට එනවා. මේ කියන්න යන්නෙ ඒ ගැන සටහනක්. අපි නොහිතන විදියට මේ අලුත් අවුරුදු කාලෙ අපි පස්සෙන් එන, සතුට නැති කරන සුළු දේවල් තමයි මේ. මේවා ගැන කතා කරද්දි අපිට නොහිතෙන දේවලුත් ඔයාලට හිතෙන්න පුළුවන්. අන්න ඒ දේවලුත් අපි එක්ක බෙදාගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ දේවල් ගැන අලුත් අවුරුද්දට කලින් ම හිතලා තිබ්බම, මේවාට ලේසියෙන් මුහුණ දෙන්න ශක්තියකුත් ඔයාලාට ඇති වේවි.

 

කඩාවැදීම්

මේ කියන දේ අලුත් අවුරුදු කාලෙ වගේම ඕන ම කාලෙක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. හැබැයි මෙහෙම දෙයක් වුණාම අලුත් අවුරුදු කාලෙදි දැනෙන දුක වැඩියි. මොකද අපි අලුත් අවුරුදු කාලෙ තරමක් වැඩි සතුටකින්නෙ කල් ගත කරන්නෙ. ඉතිං මේ අනපේක්ෂිත කඩාවැදීම්ස් ඔෆ් නෑදෑයෝස් කියන්නෙ අලුත් අවුරුදු නෙමෙයි ඕනම කාලෙක සිද්ධ නොවිය යුතු දෙයක්. කෝල් එකක් නොදී එක පාරට ගෙවල්වලට කඩා වදින නෑදෑ සනුහරයක් ඉන්නව කියන්නෙ ඒ මනුස්සයා පූරුවෙ පවක් කරලා තියෙනවා කියන එකයි. ඒ වගේම අනපේක්ෂිත විදියට කඩා පනිද්දි සිද්ධ වෙන අලාභ හානිත් බොහොමයි. ඒ ගැන අපි නෑදෑයො සම්බන්ධයෙන් ලියන ඉදිරි ලිපියකදි ලියන්නං.

 

නොනගතය

මේක තමයි අලුත් අවුරුද්දට උරුම දුකම කතාව. අලුත් අවුරුදු නිවාඩුව ලැබුනම කොල්ලො ඇවිදින එක නවත්තන්නෙ නැහැනෙ. කොල්ලො ඇවිද ඇවිද ඉන්නකොට ඕවට ඉන්ධනත් ඕනෙනෙ. ඔය කෑම බීම දෙන්නෙ ඒ වෙලාවට ඉන්න ගෙදරින්. හැබැයි පුතෝ නොනගත වෙලාව සෙට් වෙලා තිබුනොත් ඔය කිසිම තැනකින් කන්න ලැබෙන්නෙ නෑ. ඒ කියන්නෙ දුක තමයි. ගෙදර හිටියත් කන්න නොලැබුනම මුළු අවුරුද්දම කෙල වෙලා ගියත් මොකෝ කියල කාගෙන කාගෙන යන්න හිතෙනව කිරිබත්. එහෙමයි කියල අම්මා රවල බලන බැලිල්ල අමතක කරන්න බෑනෙ බ්‍රෝ. කොහේවත් ගියේ නැතත්, ගෙදර කෑම තියාගෙන, නිදහසේ ඉන්න වෙලාවත් තියාගෙන, වැඩකුත් නොකර, නොකා නොබී ඉන්න වෙන එකම කොයිතරම් නම් අවුලක්ද?

 

බඩු

බඩු කිවුවෙ ඔයාලා හිතන නරක දේවල්වලට නෙමෙයි මහත්තයො. බඩු කියල කියන්නෙ අලුත් අවුරුද්දෙ පොඩ්ඩක් වැනෙන්න කට්ටිය පාවිච්චි කරන දේවල්වලට. අලුත් අවුරුද්දට කලින් හැමෝම මෙවුව ගෙවල්වල ගොඩගහගන්න නිසා ඒකට වැරැද්දක් කියන්නත් බෑ. උවමනාව ඇති මිනිහට තියෙන්නෙපැයි මහත්තයො සූජානම. ඉතිං මක්කොරන්නද? අලුත් අවුරුද්දෙ තදියම් වෙලා ගිහින් බාර් එක වහල තිබ්බම අවුරුදු කුමාරයටයි එයා වඩින වාහනේටයි මීන රාශියටයි මේෂ රාශියටයි බැන බැන ඇවිල්ල වැඩක් නැහැනෙ. ඔය කේන්තිය තවත් තද වෙන්නෙ ගෙදර එද්දි අම්මා කරපිංචයි මිරිස් කුඩුයි දාලා බැදපු කොකිසක් අතට දුන්නම තමයි.

 

කෝල්

අලුත් අවුරුද්දේ තවත් දුක දනවන සිදුවීමක් ගැනයි මේ කියන්න යන්නෙ. කෝල් නොකර එන නෑදෑයො ගැන කියපු නිසා කෝල් කරලා එන අය ගැන අපි කියන්නෙ නෑ. පෙර සූදානමක් ඇතුව කෝල් කරලා එන අය කියන්නෙ ඉතිං වාතයක් නෙමෙයිනෙ. හැබැයි අපි මේ කියන්නෙ වෙනමම කෝල් එකක් ගැන. මේක එන්නෙ ඔෆිස් එකෙන්. දුක් සීන් එක. වැඩ කන්දක් තියෙන නිසා දීපු අවුරුදු නිවාඩුව අලුත් අවුරුදු දිනයෙන් පස්සෙ කැන්සල් බව කියන ඒ පණිවුඩය හතුරෙකුටවත් අසන්නට නොලැබේවා. ඇයි ඉතිං ලබන්න තියෙන අලුත් අවුරුද්දෙ ආතලුත් කුඩු වෙනවනෙ ඒක ඇහුවම. දැන් ඉතිං කෝල් විතරක් නෙමෙයි වට්ස්ඇප් ගෘප් එක ටිං ගෑවත් කට්ටිය ඉන්නෙ අවුලෙන්.

 

මේ සැරේ නෑ

මේ කියන්නෙත් උඩ කියපු කතාවෙම වෙනත් කොටසක්. හදිස්සියේ කෝල් එකක් ඇවිත් නිවාඩු කැන්සල් වෙනවා වගේම දුකක් තමයි නිවාඩු ලැබෙන්න කලින් නිවාඩු කැන්සල් වෙනවා කියන්නෙ. ඇයි ඉතිං මාර්තු අග ඉඳන්ම කට්ටිය අලුත් අවුරුද්දට කරන්නෙ මොනවද කියන එක ගැන ප්ලෑන් කර කර නෙ ඉන්නෙ. ඒ අස්සට මෙහෙම දෙයක් වුනාම දුක් කෝටියයි. ඔන්න අලුත් අවුරුද්දට කලින් ලොක්කා විසින් මූන බෙරි කරගෙන ගන්නව කෝල් එකක්. අරගෙන කියනව.​ මේ පාර අවුරුදු නිවාඩුව ලැබෙන්නෙ පරණ අවුරුද්ද දිනයේත් අලුත් අවුරුද්ද දිනයේත් පමණක් විත්තිය. ඒකෙත් පරණ අවුරුද්ද දිනය ඔන්-කෝල් ඩියුටි සිටිය යුතු බව. ඉතිං ඒ දවස් දෙක නිදහසේ නිවාඩුව ගත කරන්න පුළුවන්ද කියහංකො. සාමාන්‍ය සෙනසුරාදා ඉරිදාවක් වගේම තමයි. අන්න දැන් ආයතන හිමියොන්ට එහෙම කරන්න පුළුවන් පණතකුත් සම්මත වෙනවලු.

 

සුව නින්ද කෝ?

සමහරු අලුත් අවුරුද්ද එනකං ඉන්නෙම එකම දේකට. කොහොමත් අවුරුද්දෙ අනිත් දවස්වලත් යාලුවො එක්ක සෙට් වෙනවානෙ. ට්‍රිප් යනවානෙ. හැබැයි මේ කතාව ටිකක් වෙනස්. හැමදාම මේ වගේ අතපය දිගෑරලා නිදාගන්න ලැබෙන්නෙ නෑ. ඉතිං අලුත් අවුරුදු නිවාඩුවෙ නින්දක් හගෙන ඉද්දි අම්ම එනව ඒකට අකුල් හෙලන්න. අන්න නැන්දලා ආවා පිළිවෙළට ඇඳුමක් ඇඳගෙන එළියට පලයං. අන්න අර මකුළු දැල් ටික කඩපං. බිත්තියෙ අර පැත්ත හරියට පේන්ට් වෙලා නෑ. ගිහින් ඒ ටික පේන්ට් කරපං යනාදී වැඩ කෝටියයි. මේ දුක වැඩිපුරම දන්නෙ කසාද බැඳපු ඈයො තමයි. කසාද බැඳපු පිරිමි තමයි අලුත් අවුරුදු නිවාඩුවෙ නින්ද ලබන්න කට ඇරගෙන බලං ඉන්නෙ. ඒත් එයාට ඒකට බාධා කරන හෙනහුරා තමයි අර ​ලොකු මගුලක් කාලා ගෙදර ගෙනාපු කෙනා. ඔන්න අලුත් අවුරුද්ද ලං වෙද්දි වයිෆ්ට හිතෙනව කෑම ජාති හදන්න. අපි අළුවා හදමුද ඒයි? හොඳ රෙසිපියක් හම්බුනා. කියල කිවුවම හබියට ඒවට විරුද්ධ වෙන්නත් බෑ. ඇයි ඉතිං පවුනෙ හිතේ සතුටනෙ. එහෙමයි කියල පැය ගනං පිටි කොට කොට අන අන ඉන්නත් බෑ. සරොං ගහගෙන භූමිතෙල් ලිපවල් ගාව බිම ඇන තියාගෙන කෝටු ඇන ඇන කොකිස් අච්චුවලින් කොකිස් ගලවපු අපිට දුක කියන්නෙ මොකද්ද කියල කියන්නෙපා මහත්තයො.

Tags