සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

අලි මිනිස් ගැටුම සහ ශ්‍රී ලංකාවේ සත්ව හිංසනය පිටු දකින්නේ කෙසේද​?

ශ්‍රී ලංකාවේ වටිනාම සම්පතක් වෙන අලි ඇතුන් ආරක්‍ෂා කර ගන්න වගේම කාලාන්තරයක් පුරාවටම කතාබහට ලක්වෙන අලි මිනිස් ගැටුම පාලනය කර ගන්නත් ඒ ඒ අංශ භාරව ඉන්න දේශපාලන බලාධිකාරියටවත්, ඔවුන්ව සංරක්‍ෂණය කිරීම සඳහා වගකීම් පැවරිලා තියෙන නීත්‍යානුකූල ආයතන ව්‍යුහයටත් මේ හා සබැඳි තාක්‍ෂණික දැනුම හෝ පැහැදිලි සැලැස්මක් තිබෙන බවක් පෙනෙන්නට නැහැ.කැළෑ එලි කිරීම අලීන් ගම් වැදීම සඳහා බලපාන ප්‍රධාන හේතු සාධකයක්. ඉස්සර නම් අලීන්ට හුවමාරු වෙන්න අලි මංකඩවල් තිබුණා. පුරාණ ගැමියන් කිසි ලෙසකින්වත් මෙම අලිමංකඩවල් අවහිර වෙන්න වැඩකටයුතු කලේ නැහැ. මේ වෙද්දී මහාමාර්ග ඉදිවෙලා ගෙවල් දොරවල් ඉදිවෙලා සතා සීපාවට නිදහසේ සැරිසරන්න තියෙන ඉඩකඩ බොහෝම සීමාසහිත වෙලයි තිබෙන්නේ.

කැළෑ එළි කරන එක නවත්වන්න නිවැරදි ඉඩම් ප්‍රතිපත්තීන් නොමැතිකම ගැන​ වගේම දිනෙන් දින වර්ධනය වෙන දඩයක්කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද කියන පැනයත් අපට නැවත නැවතත් අසන්නට සිදුවෙලා තිබෙනවා. මේ සටහන තබන මොහොත වෙද්දී සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වන ඉතාම සංවේදී පුවතක් පිළිබඳව වන වාර්තාවකුත් දැකගන්නට ලැබුණා. ඒ වෙඩි වැදීමට ලක්වෙලා දින ගණනාවක් යනතුරුම​ ප්‍රතිකාර නොලැබුණු තැන බොහෝ දුක් විඳලා ජීවිතයෙන් වන්දි ගෙවන්න උණු හුරුළු පාරිසරික උද්‍යානයේ හිටපු කවුරුත් දන්න කනේ හිලා ඇතින්නත් මිය ගිය බවට වාර්තා වෙන පුවත​.​

කනේ හිලා ඇතින්න

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් මුතුරාජා පිළිබඳව ඔබට අමතක වන්නට බැහැ. විවිධ පාර්ශව විවිධ මත ගොඩනගන්න උත්සාහ දැරුවත් මුතුරාජාව තායිලන්තයට රැගෙන යන්න බලපාපු ප්‍රධානම හේතුව​ ශ්‍රී ලංකාවේ අපි ඒ සත්ත්වයාට ලබාදිය යුතු නිසි ප්‍රතිකාර සහ අවශ්‍ය රැකවරණය ලබා නොදීම​ කියන තර්කයනම් කිසිලෙසකින්වත් බිඳින්න බැහැ. පහත වීඩියෝවෙන් දැක්වෙන්නේ තමන්ගේ ඉදිරිපස වම්පාදය වසර ගණනාවක් තිස්සේ ආබාධයට ලක්වෙලා පීඩා විඳපු මුතුරාජා Thai Elephant Conservation Center ප්රථිකාර මධ්යස්ථානයේ සත්කාරයන් හමුවේ කැපී පෙනෙන සුවයක් ලබමින් සිටිනා ආකාරය​. තමන්ට ජීවිතය ගෙනියන්න හොඳ වටපිටාවක් ලැබුණහම සතෙකුගේ වුණත් ජීවගුණය කොයි ආකාරයෙන් ඉහළ යනවද කියාපාන්න මේ වීඩියෝව ඉතා හොඳ නිදසුනක්.

 

මුතුරාජා තබන සෑම​ නිදහස් පියවරක් පාසා වගේම ඒ සත්ත්වයාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් පෙනී හිටපු සියළු දෙනාටත් ස්තුතිවන්ත වෙන්න මෙය අවස්ථාවක් කරගන්නත් කැමතියි.​ ශ්‍රී ලංකාව තුල වන අලීන් සංරක්‍ෂණය කියන මාතෘකාව ගත්තත් අනෙත් හැම මාතෘකාවක් වගේම දේශපාලනික​, අධ්‍යාපනික​, ආර්ථිකමය සහ පරිපාලනමය වශයෙන් ගත්තහම විශේෂයෙන්ම අපේ රටේ ජනතාවගේ ආකල්පමය වශයෙන් ගත්තහම තියෙන්නේත් ඉතාම දුර්වල තැනක​.

ආදීතම ගොවි ජනතාවයි අලි ඇතුනුයි අතර උනත් අපූරු සහසම්බන්ධයක් තිබුණා කියන කාරණයට අවශේෂ කිහිපයක් තවමත් ඉතිරිවෙලා තිබෙනවා. ඔබ විශ්වාස කරනවාද​? අපේ සමහර ගොවීන් අලින්ට කන්නම වෙනම කෙසෙල් වගේ බෝග වගා කරල තියෙනවා කිව්වහම​. එහෙම තමයි සමහර වගාවන් අතීත ගොවිමහතුන් සතාගෙන් වෙන උවදුරු වලින් මගහරව ගන්න පුළුවන් විදිහට හසුරවගෙන තියෙන්නේ. ඔවුන්ටත් කුසගින්න කියන එක අපට වගේම දැනෙනවානම්; මනසින් උසස් යැයි හඳුන්වන මිනිසා කල යුතුවෙන්නේ ඒ කුසගිනි නිවන්න රුකුල් දීමම නේද​? අපේ අතීත වී ගොවිතැනේ තිබුණු කුරුළු පාලුව කියන්නෙත් මේ වාගේම ක්‍රමයකට​. එතනදී කුරුල්ලන්ට වී ආහාරයට ගන්න සම්පූර්ණ ලියද්දක් හෝ කොටසක් වෙන් කිරීම තමයි සිදු කරල තියෙන්නේ.

පෙරහැර කාලයට විශේෂයෙන්ම අලි පෙරහැරේ ගෙනියන එක නවතින්න ඕන, එය සත්ව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වගේ මාතෘකා ගැන සමාජයේ පොඩි කතිකාවතක් ගොඩ නැගෙනවා කියන්න සමහරවිට ඔබ දන්නවත් ඇති. නමුත් පෙරහැර කාලයෙන් පස්සේ කිසිම කෙනෙක් ඒ ගැන හඩක් නගනව ද​? පුද්ගලිකව මේ සටහන තබන මාද​ පෙරහරේ අලි ගෙන යාම වගේම පන්සල්, වලව් වැනි ස්ථාන වල අලි ගාල් කර තබා ගැනීමට සම්පූර්ණ විරුද්ධ අයෙක්. නමුත් අපගේ ආගමික සංස්ථාවන් තුලින්, අප විසින් කරපින්නා ගෙන සිටින සංස්කෘතික නියමයන් තුලින්, එවන් ප්‍රගතශීලී අදහසක් ක්‍රියාත්මක කිරීමට තබා එවන්නක්​ දැරීමටවත් අවකාශ සලසන​වා ද​?

සටහනක් අවසානයේදී පාඨකයාට විචක්‍ෂණශීලීව සිතන්න යමක් ඉතිරි කරල තබන්න පුළුවන් නම් එම ලිපියේ කතුවරයා එක් පසෙකින් තෘප්තියක් වගේම ජයග්‍රහණයකුත් ලබනවා කියන්න පුළුවන්. අලි මිනිස් ගැටුම වගේම සත්ත්ව හිංසනය කියන්නේ පුළුල්ව කතාබහට ලක්වෙන්න ඕන මාතෘකාවක්. කඩිනම් විසඳුම් ලැබෙන්න ඕන පරිච්ඡේදයක්. දැනට ඉතිරි වෙලා ඉන්න සීමිත වන අලි ප්‍රමාණයත් වඳවෙලා ගියාට පස්සේ නම් මොන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගත්තත් ඵලක් වන්නේ නැහැ. හිතන්න යමක් ඉතිරි කරමින් පහතින් වන උපුටා ගැනීමත් වීඩියෝවත් ඔබ හමුවේ තබල මෙම​ සටහනට තිත​ තබන්නම්..

උපුටා ගැනීම භික්ෂු පරිච්ඡේදය කෘතියේ වන මාතර ආනන්ද සාගර භික්‍ෂූන් වහන්සේගේ ප්‍රකාශයක්.
 
“බුදුහාමුදුරුවන්ගෙ කාලෙ හාමුදුරුවරුන්ගෙ විනය ප්රශ්ණයකට බුදුහාමුදුරුවො කැලේට යනව. උන්වහන්සෙ යන්නෙ පාරිලෙ වනයට. එතනදී බුදුහාමුදුරුවන්ට සලකන්නෙ පාරිලෙය ඇතා. ඊට පස්සෙ ආනන්ද හාමුදුරුවො ඉදිරියට ඇවිදින් විනය ප්රශ්ණය අහවර බවත් නැවතත් උන්වහන්සේට ජේතවනාරාමයට වඩින ලෙසත් ආරාධනා කරනව. මේ අවස්ථාවේ පාරිලෙය ඇතා බුදුහාමුදුරුවන් සමග වනයේ කෙලවරටම ඇවිදින් මග දමා නොයන ලෙස ඉල්ලා සිටිනව.
පරචිත්ත විජාණන ඥාණයෙන් බුදුරජාණන් වහන්සේට අවබෝධ උනා ඊලගට සිද්ධ වෙන්න යන දේ. ඉතින් උන්වහන්සේ පාරිලෙය ඇතාගෙ කුම්භෂ්තලයට අත තියල ආශිර්වාද කලා. බුදුරජාණන් වහන්සේ පියවර කීපයක් ඉදිරියට ගිය විටදී පාරිලෙය ඇතා ළය පැලී මැරුණ. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය​ උනානම් ඇතාව ගෙනිහින් ජේතවනාරාමයේ ගැට ගහල තියාගන්න තිබුන. ඒත් බුදුරජාණන් වහන්සේ දන්නව පාරිලෙය ඇතාගේ මරණය සිදු විය යුත්තේ ඇතාට උවමනා පරිදි වන​ වග.”
 

 

 
 

 

Tags