දේශීය පුවත්
‘ත්රස්තවාදීන් මෙහෙයවපු මහමොළකාරයො අද පාර්ලිමේන්තුවේ අපව පාලනය කරනවා.’
ඊයේ පෙරවරුවේ (24) ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් සහ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත සිය අදහස් ප්‍රකාශ කරනු ලැබුවා. එහිදී සිය අදහස් දැක්වූ අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්,
“අපිට ජාත්‍යන්තරයට යන්න අවශ්‍යතාවයක් නැහැ. මේ රටේ ඉන්න නායකයො විනිවිද පෙනෙන ක්‍රමවේදයන් හරහා මේක කරන්න. මේ වෙනකන්ම කරල තියෙන්නේ සේරම බොරු, පැලැස්තර ඇලවිලි තමයි කරන්නෙ. ඒගොල්ලො පූර්ව නිගමනයකට ඇවිල්ලා, පූර්ව නිගමනය ඒගොල්ලො හැමතිස්සෙම අපිට කවන්න උත්සාහ කරනවා. පූර්ව නිගමනය ඉස්ලාම් අන්තවාදී පිරිසක් මේක කලා, එතැනින් එහාට මුකුත් නෑ ප්‍රශ්ණ අහන්නෙපා අපෙන් කියලා.”
“හුගාක් දේවල් වලින් අපිට පැහැදිලි වෙන්නේ, ඇතුලේ පොලීසියෙ නිලධාරීන් හරහා අපිට පැහැදිලි වෙනවා සමහර වෙලාවට මේකෙ තව පැත්තක් තියෙනවා කියලා. ඉතින් අපිට ඒ පැත්ත මොකක්ද කියලා හොයාගන්න ඕන. කවුරුහරි නිලධාරියෙක්ගේ නම මේකට ගෑවිලා තියෙනවනම් දේශපාලන ලෝකයෙ කාගෙ හරි නම ගෑවිලා තියෙනවනම් ඒගොල්ලන්ව අයින් කරන්න ඕන. අයින් කරල විමර්ශණය කරන්නට ඕනෙ.”
පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් විසින් දැක්වූ අදහස්,
“අපිට මෙතන ජනවර්ග හෝ ආගමික ප්‍රශ්ණයක් නැහැ. පාස්කු ප්‍රහාරය එල්ල වුණේ කතෝලික ප්‍රජාවට නෙවෙයි, පාස්කු ප්‍රහාරය එල්ල වුණේ සමස්ථ ශ්‍රී ලංකාවාසී සදාචාරගරුක ජනතාවට. ඒ නිසයි ඒක අපට දැනෙන්නේ. බෞද්ධයො තමයි මුලින්ම ත්රස්තවාදයේ ගොදුරු බවට පත්වුණේ. ඔබට මතකයි අරන්තලාවේ භික්ෂු ඝාතනය, දළදා මාලිගාවට ප්‍රහාරය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ මළුවේ රතු ලේ ගලා ගිය හැටි. ඒ ත්රස්තවාදීන් මෙහෙයවපු මහමොළකාරයො අද පාර්ලිමේන්තුවෙ අපව පාලනය කරනවා. එවන් පිරිසක් නීති හදන තැනට ව්‍යවස්ථාදායකයට ගිය තැන අපට යුක්තිය ඉටුවෙයිද?”