සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

කොන්ඩම් මැජික් එකෙන් අත්මිදෙමු

මේ කියන්න යන්නෙ කොන්ඩම් ගැන අපි මුලින් කියපු කතාවටම අදාළ දෙයක් නමුත් වෙනස් පැතිකඩක් ගැන.​ මේ කතාව මෙතන කියන්න වෙන්නෙ ලංකාවට සෙක්ස් මැජික් නිසා සහ සහ නිසි සෙක්ස් අධ්‍යාපනයක් නැති නිසා. අන්න ඒ නිසා කොන්ඩම් ගැන අපි කතා කරපු මූලික කතා අතරේ, යටපිටින් ඇහෙන අමුතු ප්‍රශ්නවලටත් උත්තර ලියපු සටහනක් ඔබ වෙත ගෙනෙන්න CeylonJournal අපි තීරණය කළා. මේ සටහන ඒ වෙනුවෙන් තබන්නක්.

 

පවර්ප්ලේ එකේදි ආරක්ෂාව

අන්තිම හරියට ලංවෙලා කොන්ඩම් එක දැම්මට කමක් නැද්ද? නෑ! එහෙම බෑ. කොන්ඩම් එකක් පාවිච්චි කරන්නේ මොකටද? එකක් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වන්න. අනික ලිංගිකව සම්ප්‍රේෂණය විය හැකි රෝග වලින් ආරක්ෂා වෙන්න. සංසර්ගයෙන් ටිකක් වෙලා ගිහිල්ලා ශුක්‍ර මෝචනය වෙන්න ඔන්න මෙන්න වෙනකොට දුවලා ගිහිල්ලා කොන්ඩම් එක දාගෙන එන එකෙන් ඒ බලාපොරොත්තු වුණු ආරක්ෂාව ලැබෙයිද?

 

දෙවෙනි ආරක්ෂාව ඒ වැඩෙන් කොහොමත් ලැබෙන්නෙ නැහැනේ. මොකද සමට සම ස්පර්ෂ වෙලා, තරල හුවමාරුවක් වෙන්න අවස්ථාව ලැබිලා ඉවරයි. ඊළඟට පළවෙනි ආරක්ෂාවටත් කොන්ඩම් එක අන්තිමට දාන එකෙන් අවදානමක් තියෙනවා. මොකද අවසානයේ ශුක්‍ර මෝචනය වෙනකොට විතරක් නෙවෙයි ශුක්‍රාණු යෝනියෙන් ඇතුළු වෙන්න ඉඩකඩ තියෙන්නේ. ශුක්‍ර මෝචනයට කලින් නිකුත් වෙන තරලයේ වුනත් ශුක්‍රාණු තියෙන්න පුළුවන්.

 

එනිසා කොන්ඩම් එකක් අතේ තියාගෙන අවධානමක් ගන්න එපා!

 

වැඩි ආරක්ෂාවෙන් කොට උඩ

හැමදේම වැඩිපුර කළාම හොඳයි කියලා හිතන අය නිසා මේ කතාවත් අපිට කියන්න වෙනවා. ඒ වගේ අය ඉතින් කොන්ඩම් පාවිච්චි කරන්න ගියාම එකපාර කොන්ඩම් දෙකක් දානවා වැඩි ආරක්සාවට කියලා. ඒත් එහෙම කිරීම නිසා කොන්ඩම් දෙකම ඉරී යෑමේ වැඩි ඉඩකඩක් තියෙනවා. ඒ නිසා ඔයා එහෙම ඒ වැඩේ කරන්න එපා.

 

 

කොන්ඩම් ගැන මිත්‍යාවෙන් මිදෙමු!

මාර විදියට සෙක්ස් ගැන දන්නවා කියලා පෙන්නන අය කියන දෙයක් තමයි කොන්ඩම් එක නිසා රියල් ෆීල් එක නෑ කියන එක. අන්න ඒ ලිංගික සතුට උපරිමව ලැබෙන්නේ නෑ කියන දේ සිනමා සහ ටෙලි සීරීස් හරහාත් ජනගත වෙලා තියෙනවා. ඒත් පිළිගත් වෛද්‍ය සමීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙන්නේ කොන්ඩම් භාවිතය සහ ලිංගික සතුට අතර සම්බන්ධයක් නෑ කියලා. ඒක මිනිස්සු හිතෙන් හදාගත්ත දෙයක් කියලා. ඊට අමතරව කොන්ඩම් එකක් මගදි ගැලවෙන්න පුළුවන්, පුපුරන්න පුළුවන් කියලත් අදහසක් සමහරුන්ගේ ඔළුවේ තියෙනවා. මේ වලට  උත්තර මෙහෙමයි, කොන්ඩම් එකක් හරියට දාලා තියෙනවා නම් ගැලවෙන්නේ නෑ. ඒ වගේම ප්‍රමිතියෙන් යුතු සහ කල් ඉකුත් නොවුණු කොන්ඩම්  පුපුරන්නේ නෑ.

 

 

ඉල්ලන්න ලැජ්ජයිද?

කොන්ඩම් පාවිච්චි කරන්න අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද කියලා ඇහුවොත් මොකක් වෙයිද උත්තරේ. උත්තරේ “ලැජ්ජාව.” නෑ නෑ අර වැඩේ කරද්දි දාන්න නෙමේ, ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ගන්න. සමහර වෙලාවට ෆාමසිවල ඉන්නෙ ගෑනු ළමයෙක් නම් සමහරු ගිය සෙනිකව ආපහු එළියට එනවා. ඉන්නේ කොල්ලෙක් නම් බෝම අමාරුවෙන් පුරුෂ ශක්තිය උපදවාගෙන ගිහින් ඇඹරි ඇඹරි ඉල්ලනවා. අර කොන්ඩම්වල ආසාත්මිකතා වගේ මේ වගේ මළ විකාරවලට නම් ආදේශක නෑ. කොන්ඩම් පාවිච්චි කරේ නැත්තම් ඔයාට වෙන්න පුළුවන් දේ මොකද්ද කියලා හිතලා බලලා ඒ දේ මිලට ගන්න කියලා සරලව අපි කියන්නේ. ආහ් ඒ වගේම සමහර ස්ථානවල කොන්ඩම් මැෂින් හයි කරලා තියෙනවා. ඒත් ඒවා රට පුරාම නෑ. ඒ නිසා ඔය ලැජ්ජාව ඔයාට අමතක කරන්නම වෙනවා.

 

ආසාත්මිකතාවයක්

මේ කෙටි හෙඩිම දැකලා බය වෙන්න එපා. කොන්ඩම් එකක් නිසා හැදෙන්න පුළුවන් එකම ලෙඩේ ඔයාලා හිතන ජාතියේ එකක් නෙමෙයි. සමහර අයට Latex කොන්ඩම් නිසා ආසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒක වෙන්න පුළුවන් අතිශයින් කලාතුරකින් කෙනෙක්ට විතරයි.

 

එහෙම වුණොත් ඉතින් අර වැඩේ නොකර තමයි ඉන්න වෙන්නේ කියලා නෙමෙයි අපි කියන්නේ. ඒ වගේ Latexවලට ආසාත්මිකතා තියෙන අයට තියෙනවා Polyurethaneවලින් හදපු කොන්ඩම්, හැබැයි තව පොඩි අවුලක් තියෙනවා. ඒ වලටත් ආසාත්මික අය ඉන්නවා. අන්න ඒ වගේ අයට තියෙනවා Polyisopreneවලින් හදපුවා. දැන් ඔයා හිතන දේ අපි දන්නවා. ඔව් ඒ වලට ආසාත්මික අයට තියෙනවා Lambskin condom ඒ කිව්වේ බැටළුවන්ගේ සමින්, හරියටම කියනවා නම් බැටළුවන්ගේ බඩවැල්වලින් හදපු කොන්ඩම්. ඒ නිසා යම් විදිහකට ඔයාට Latex කොන්ඩම් ආසාත්මිකතාවය ඇති කරනවා කියලා තේරුණොත් කොන්ඩම් නැතුව සංසර්ගයේ යෙදෙන්න හෝ සංසර්ගයේ නොයෙදී ඉන්න ඕන නෑ.

Tags