එදිනෙදා ජීවිතය
කාර්යබහුල අලුත් අම්මලා ගාව තිබිය යුතුම දේවල් 7ක්
සාමාන්‍යයෙන් අලුත් අම්මලාට හැමෝම උපදෙස් දෙන ප්‍රමාණය වැඩියි. සමහරවිට අම්මලාට මේ උපදෙස් දරාගන්න බැරි වෙන්න පුළුවන්. නැත්තං එකිනෙකාගේ උපදෙස් පරස්පර විරෝධී වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා රාජකාරි කරන අතරේ දරුවෙක් උස් මහත් කරන කාර්ය බහුල අම්මලාට අත්‍යවශ්‍ය විය හැකි යැයි බොහෝ දෙනා නොසිතන, එහෙත් අප සිතන උපාංග කිහිපයක් ගැන මේ විදියට සඳහන් කරනවා. මේ උපාංග දරුවා ගැන හිතේ තියෙන අනිසි බිය නැති කරගන්න, දරුවා උස් මහත් කිරීමේදී පහසුවක් වෙන්න, දරුවා නිසා අම්මාට විඳින්න වෙන දුක් ගැහැට අවම කරගන්න, කාර්යබහුල අලුත් අම්මලාට උදව්වක් වේවි.
ලොකු හෑන්ඩ් බෑග් එකක්
කාර්යබහුල අම්මෙකුට හැඩ වැඩ තියෙන ලස්සන හෑන්ඩ් බෑග් එකක් ඕන තමයි. හැබැයි හැඩ වැඩ තියෙන බෑග් එකක් වගේම ඉඩ තියෙන බෑග් එකක් තෝරාගන්න එකත් අතිශය වැදගත්. ඒ ඇයි කියන දේ අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. අලුත් අම්මා කෙනෙකුට මග තොට යද්දි ගෙනියන්න වෙන දේවල් ප්‍රමාණය සාමාන්‍යයෙන් තරමක් වැඩියි. ඒ නිසා හොඳට ඉඩ තියෙන, වැසි ජලයට ඔරොත්තු දෙන, බෑගය ඇතුළේ කම්පාට්මන්ට්ස් තරමක් ඇති, හෑන්ඩ් බෑගයක් තෝරාගැනීම වැදගත්.
බිබ්
පොඩි දරුවෙකුට සාමාන්‍යයෙන් පළමුවෙන්ම ඝන ආහාර ලබා දීමට පටන් ගන්නා කාලයේ අම්මෙකු සතුව අනිවාර්යෙන්ම බිබ් කිහිපයක් තිබීම වැදගත්. එයට හේතුව දරුවන්ට ආහාර වේල් කිහිපයක් තිබීම සහ ඒ ඒ වතාවෙන් වතාවට දරුවන් බොහෝ විට කෑම තම මුවින් වට්ටාගන්නා නිසා ඔවුන්ගේ ඇඳුම් අපිරිසිදු වීමයි. අපිරිසිදු වෙනවාටත් වඩා දරුවන්ගේ පපුව ප්‍රදේශය මෙම කෑමවලින් තෙත් වීමද බිබ් එකක් පැළඳීමේ අවශ්‍යතාවය තීව්‍ර කරන හේතුවක්. ඒ වගේම අපි මීළඟ කරුණේදී ඔබට කියන සිලිකන් බිබ් එකක් දරුවාට ලබාගන්නට පුළුවන් නම්, කල් පවතින සහ පහසුවෙන් පිරිසුදු කළ හැකි වීමේ වාසියත් ඔබට ලැබෙනවා.
සිලිකන් උපාංග
සාමාන්‍යයෙන් මාස හයෙන් පමණ පසු දඟ කරන වයසට එන පොඩ්ඩන්ට සිලිකන් ආයිත්තම් ලබා දීමේ වාසි බොහෝමයි. ඉහළ උෂ්ණත්වයට ඔරොත්තු දීම සහ බැක්ටීරියා බිහිවීමේ හැකියාව රහිත නිසා සිලිකන් දෑ ඔබේ දරුවාට කෝප්ප, පිඟන් සහ හැඳි ලෙසින් භාවිතා කිරීමේ වාසි තිබෙනවා. එමෙන්ම එම ආයිත්තම් බිම දැමීමෙන් කැඩීම වළක්වා ගන්නත් හැකි නිසා මෙම සිලිකන් උපාංග වාසිදායක වනු ඇති. තවද ළමයින්ට තුවාල වීම අවම කරන අතරේම, පරිසර හිතකාමී වීම නිසාත් සිලිකන්වල වාසිය අත්විඳීම වැදගත්.
බේබි මොනිටර්
කාර්යබහුල අම්මා කෙනෙක් වුණත් මවු සෙනෙහස කියන දේ නිසා හැම තිස්සෙම හිතට තමුන්ගෙ දරුවා ගැන වද දෙන එක සාමාන්‍ය සිද්ධියක්. මේ නිසා හැකි තරම් තමුන්ගේ දරුවාට ඇහැ ගහගෙන ඉන්න බේබි මොනිටර් එකක් සහ කැමරා එකක් ගන්න පුළුවන් නම් වටිනවා. දැන් තියෙන බේබි මොනිටර් තරමක් තාක්ෂණයෙන් දියුණු නිසා ඔබට දරුවාට කතා කරන්නට වගේම දරුවාට ගීතයත් වාදනය කිරීමේ හැකියාවත් ලැබෙනවා.
බ්‍රෙස්ට් පම්ප්
කාර්ය බහුල මවකට නිතරම දරුවා අසළ ඉන්නට බැරි වීම සාමාන්‍යයෙන් තේරුම් ගත හැකි සිද්ධියක්. මේ අවස්ථාවට සාර්ථකව මුහුණ දෙමින් දරුවාට මවගේ සිරුරෙන් අවශ්‍ය පෝෂණය මව් කිරි හරහා දායාද කිරීමේ හැකියව ලබාගන්නට බ්‍රෙස්ට් පම්ප් එකක් වැදගත්. එවිට ඔබට නිවසෙන් පිටත් වන්නට පෙර දරුවා වෙනුවෙන් බ්‍රෙස්ට් පම්ප් කර මව් කිරි ශීතකරණයේ තබා යෑමේ හැකියාව ලැබෙනවා.
නිපල් බාම්
ඔබ සාමාන්‍යයෙන් බ්‍රෙස්ට් පම්ප් කරනවා නම් හෝ දරුවාගේ දත් සෙමින් සෙමින් වැඩෙන කාලයේදී කිරි දෙනවා නම් ඔබේ තන පුඩුව අවට විශාල වශයෙන් රිදුම් දීම සාමාන්‍ය සිද්ධියක්. ඒ නිසා කිරි ලබා දීමෙන් පසුව ඔබේ තන පුඩුව අවට ආලේප කිරීමට නිපල් බාම් එකක් තබා ගැනීම අතිශය වැදගත්. කෙසේ හෝ ඔබේ සමට රැකවරණය ලැබෙන ආලේපයක් ළඟ තබා ගැනීම ප්‍රමාණවත්.
බහුකාර්ය කවර් එකක්
දරුවා යම් තැනක නිදිකරවන හෝ වාඩි කරවන විට එතැනට දමන්නට, දරුවාට පොදු ස්ථානයක මව් කිරි ලබා දෙන විට දරුවා සහ පපුව පෙදෙස වසා ගැනීමට, දරුවාට සීතල දැනෙන වෙලාවක දරුවා ඔතාගෑනිමට බහුකාර්ය කවර් එකක් දරුවා සමග ගමන් යනෙන විට අම්මා ළඟ තබා ගැනීම වැදගත් වෙනු ඇති.
මේ දේවල්වලට අමතරව තවත් බොහෝ දේ අලුත් අම්මලාට වැදගත් වෙන අතර, මෙම ලිපියෙහි දෙවැනි කොටස අපි ළඟදීම ඔබ වෙත අරගෙන එන්නම්.