සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

ඔයාගේ පොඩ්ඩාත් අනිත් අයව බුලී නොකරන පොඩ්ඩෙක් කරන්න

මේ කතාව අපිට කොටස් කීපයකට කියන්න වෙන කතාවක්. ඒ නිසාම අපි මේ ගැ​න මුලින්ම කතා කරන්න ඕන තැනින් කතා කරමු. මේ ගැන දරුවො ඉන්න ඔයාලා හැමෝගෙම අදහස් අපිට වටින බවත් මතකයේ තියාගන්න. කතාවට නං කියන්නෙ පුංචි ළමයි මල් වගේ කියලා. හැබැයි අපේ ඇස් මානෙන් එපිටදීත් පුංචි ළමයි මල් වගේම ඉන්නවාද? එහෙමත් නැත්තන් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න තවත් පොඩ්ඩෙකුට හිරිහැර කරන්න පෙළඹෙනවද? සරදම් කිරීම, ඇනුම් පද කීම, නම් පටබැඳීම, කොන් කිරීම, පහර දීම, පයින් ගැසීම සහ සියලුම ශාරීරික සහ මානසික වද හිංසා මේ හිරිහැරවලට පුංචි ළමයෙක් පෙළඹෙනවා නම් එතන ඉක්මනින් ක්‍රියාත්මක වෙලා නිවැරදි කළ යුතු වැරැද්දක් තියෙන බව සිහිපත් කළ යුතුමයි. ඒ නිසාම මේ ළිපියෙන් අපි කතා කරන්න යන්න අපේ දරුවන්ව මේ විදියට හිංසනයට ලක් වෙනවා නම් අපිට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවාද කියන එක ගැනයි. ඒ වගේම ඉදිරියේදී මේ දේවල් සිද්ධ නොවෙන්න අපිට කරන්න පුළුවන් මොනවද කියන දේ ගැනත් අපි ඉදිරියේදී කතා කරන්නට බළාපොරොත්තු වෙනවා.

 

මානසික හානිය

මේ ආකාරයට දරුවා කුඩා අවධියේ දී සම වයස් කණ්ඩායම් අතින් හිංසනයට ලක් වීම දරුවාගේ ආත්ම විශ්වාසයට විශාල වශයෙන් අහිතකර විදියට බලපානවා. විශේෂයෙන්ම ගුරුවරුන් සහ මව්පියන් මෙයට මැදිහත් වීම අත්‍යවශ්‍ය වෙනවා. දරුවන්ගේ ප්‍රශ්න දරුවන්ටම විසදා ගැනීමට අවස්ථාව දිය යුතු වුවත් වැඩිහිටියන් ඒ ගැටළුවලට මැදිහත් විය යුතු සීමාව පිළිඹදව ඔබ මනා අවබෝධයකින් සිටිය යුතු වෙනවා. එවැනි අවස්ථාවක ඔබට පහත සදහන් ආකාරයට ක්‍රියා කිරීමේ හැකියාව තියෙනවා.

 

දරුවාට ඇහුම්කන් දෙමු!

හිංසනයට ලක්වෙන දරුවාට විශාල අවධානයක් සහ ආදරයක් ලබා දිය යුතු අතර වැඩි වැඩියෙන් සෙනෙහස දැක්වීම අත්‍යවශ්‍ය වෙනවා. සිදු වූ දේවල් පිලිබදව සරල ප්‍රශ්න අසමින් සම්පූර්ණ විස්තරය ගැන දැනුවත් වී සිදුවීම පිලිබදව සත්‍ය කරුණූම අනාවරණය කරගෙන සාරංශගත කරගන්න. ඇතැම් දරුවන් අධික බිය නිසා කරුණු වසන් කිරීමට පවා ඉඩ තියෙන නිසා දරුවාගේ සිතේ විශ්වාසයක් ඇති කර සියළුම කරුණු හෙලිකරගන්න. 

 

දරුවා කලබලකාරී බවින් මුදවමු!

මෙවැනි අවස්ථාවක කණගාටුවට පත්වීම, පීඩනයට හා බයට පත්වීම ඉතා සාමාන්‍ය දෙයක් බව පවසා දරුවා අස්වසන්න. දරුවා නිකරුනේ හිංසනයට පත්වීම ඔහුගේ වැරැද්දක් නිසා සිදු වන දෙයක් නොවන බව වටහා දෙන්න. දරුවාගේ මව්පියන් වශයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවා වටහා දෙන්න. ගුරුවරුන් පාසලේදී තත්ත්වය මැඩපවත්වන අතරතුරේදි මව්පියන් නිවසෙදි දරුවාට ශක්තියක් විය යුතු වෙනවා.

සන්සුන්ව සිටින්න උත්සහ කරන්න. 

 

ඔබත් ඉවසන්න!

තමන්ගේ දරුවා දිගින් දිගටම වෙනත් අයෙක්ගෙන් හිංසාවට පත් වීම කිසිම අම්මෙකුට තාත්තෙකුට ඉවසන්න පුළුවන් දෙයක් නොවන බව අපි දන්නවා. නමුත් ඔබ කෝපයට පත්ව සිටියත් ඒ බව දරුවාට අගවන්න එපා. කෝපයට පත්වී ප්‍රශ්න විසදීම සිදු කළ නොහැකි බව දරුවාට හැගෙන්න සලස්වන්න. දරුවා සමගත්, අදාළ අනෙකුත් පාර්ශවයන් සමගත් මේ ගැන සාකච්ඡා කළ යුත්තේ ඉවසීමෙනි.

 

දරුවාට වැටහීමක් ලබාදෙමු!

වෙනත් අයෙකු හිංසාවට පත් කිරීමට දරුවෙක් පෙළඹිමට බලපාන්න පුළුවන් කරුණු ගැන දරුවාට වැටහෙන ආකාරයට තේරුම් කරන්න. හිංසකයා ඇතැම් විට කවුරුන් හෝ අනුකරණය කරනවා විය හැකියි. ඒ දෙය නිවසේදී අහන දකින හෝ අත්විදින දෙයක් විමට බොහෝ දුරට ඉඩ තියෙනවා. ඒ දරුවා අනෙක් අය සමග සහයෝගයෙන් සමගියෙන් සිටින ආකාරය ගැන නොදන්නවා වීමටද ඉඩ ඇත.  එහෙමත් නැත්තන් අධි ක්‍රියාශීලි දරුවෙක් හෝ එයට සමාන තත්ත්වයකින් පෙළෙනවා වීමටත් ඉඩ තියෙනවා. කවරාකාරයෙන් ගත්තත් දරුවා ක්‍රියා කරන ස්වභාවයට දරුවගේ මව්පියන් සහ වැඩිහිටියන් වගකිව යුතු බවට වටහාගෙන දරුවාටත් එය තේරුම් කර දෙන්න උත්සහ කරන්න.

 

අනෙකුත් භාරකාරයන් සමග සාකච්චා කරමු!

ගුරුවරුන් සමගින් සාකච්ඡා කරන්න. මේ දෙය අනිවාර්‍යෙන්ම සිදුවිය යුතු වෙනවා. ගුරුවරුන් වශයෙන් මේ තත්ත්වය මැඩ පැවැත්වීමේ හැකියාව ඔවුන් සතුවිය යුතු ය. ගුරුවරුන් සමග එක්වී පියවරක් ගන්නා බව දරුවාටත් දන්වා සිටින්න. ඉතා ඉවසිලිවන්තව හා පෞද්ගලිකව ගුරුවරයා සමග කතා කර සිදුවීම පිළිඹදව දන්වා උපකාර ඉල්ලන්න. සිදුවීමේ සත්‍ය බරපතල බව වටහා දී මෙයට අනිවාර්‍ය විසදුමක් තිබිය යුතු බව පවසන්න. විසදුමක් සාකච්චා කිරීමෙන් සතියකට පමණ පසු ප්‍රතිපල විමසන්න.  ගුරුවරුන් සමග දිගින් දිගටම සම්බන්ධතාවය තබාගන්න.

 

ප්‍රශ්නයට ඍජු සහ ඉක්මන් විසඳුම් සොයමු!

හිංසා කරන දරුවා සමග කතා කරන්න. ඉතා ඉවසීමෙන් සහ ආදරයෙන් එය සිදු කිරීමට වග බලා ගන්න. ඇතැම් විට ඒ දරුවාද වැඩිහිටියන්ගේ උපකාර අවශ්‍යකරන  දරුවෙක් වීමට ඉඩ තියෙනවා. අදාළ දරුවාගෙ මව්පියන් සමගත් සාකච්ඡා කරන්න. තත්ත්වය සමනය කරගැනීමට ඔවුන්ගෙනුත් උපකාර ඉල්ලන්න. මෙවැනි අවස්‍ථාවක අනිවාර්‍යෙන්ම ගුරුවරයාගේ මැදිහත් වීම මත මෙවැනි සාකච්ඡා සිදු කරන්න.

ඉවසිලිවන්තව හිංසකයාට විරුද්ධව නැගී සිටින ආකාරය දරුවාට කියා දෙන්න.

 

උදා:- “මට ගහන්න එපා, මට ගොඩක් රිදෙනවා. මාව වැටුනොත් තුවාල වෙන්න ඉඩ තියෙනවා”

හිංසා කරන දරුවන් මගහැර අනෙකුත් දරුවන් සමග සිටින ලෙසත්, හිංසාවට පත්කරන්න උත්සහ කරන විට කෙළින්ම ගුරුවරයාට දන්වන ලෙසටත් උපදෙස් දෙන්න. දරුවාගේ අනෙක් මිතුරන්ගේ සහයෝගය මෙවැනි අවස්ථාවක ඉතාමත් වැදගත් වෙනවා.

 

මේ වැනි සංවේදී කාරණා ගැන ඔබේ අදහසුත් අපිට ඉතාමත් වැදගත්. ඒවාත් අප වෙත එක් කරන්නට අමතක කරන්න එපා.

Tags