සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

රසම රසට තේ බොන්න තේ රෙසිපි

තේ කියන්නෙ අපේ රට ලෝකය පුරා ප්‍රසිද්ධ කරපු දෙයක්. අපිත් පුරුද්දක් විදියට තේ පානය කිරීමට ප්‍රසිද්ධ රටක්. හැබැයි අද කතාව අපිට පුරුදු විදියට තේ බොන එක ගැන නෙමෙයි. මේ අපිට පුරුදු තේ, වෙනස් රසයන් කිහිපයකට විඳින්නට හැකි ක්‍රමයක් ගැන කතාවක්. හැමදාම බොන කිරිතේකකට, ප්ලේන්ටියකට වඩා වෙනස් වෙලා තේකක් බොන්න හැකි විධි ටිකක් කියන්නයි මේ උත්සාහය. අනිත් එක මේ සමහර නම් තරමක් අමුතු වුණාට මේ තේ වර්ග ගෙදරදීම හදාගන්න පුළුවන් වීමත් සුවිශේෂයි. 

 

1.මසාලා චායි

 

අවශ්‍ය ද්‍රව්‍ය

වතුර කප් 2

ටී බෑග්ස් 2

ගම්මිරිස් ඇට තේ හැන්දක්

කුරුඳු ස්ටික්ස් 1 (පැකට්ටුවේ එන සම්පූර්ණ කුරුඳු කූරක්)

කරදමුංගු 2

කරාබුනැටි 2

ස්ටාර් අනීස් 1

මිල්ක්මේඩ් කප් 1/2

 

වතුර රත් වෙන්න තියලා, උතුරන කොට මිල්ක්මේඩ් හැර අනික් සියල්ලම එකතු කරල විනාඩි දෙකක් විතර උතුරව ගන්න.

ලිපෙන් ඉවත් කරල පෙරාගෙන මිල්ක්මේඩ් මිශ්‍ර කරල නැවත උතුරවාගෙන උණුවෙන්ම පිළිගන්වන්න.

 

 

2. ටින්කිරි කූල් තේ

අවශ්‍ය ද්‍රව්‍ය

4 දෙනෙකු සඳහා එළකිරි 500ml

සීනි

දෙනෙකු සඳහා ටින්කිරි මේස හැදි 6

තේ කොල

නටන උණු වතුර

අයිස් වතුර

ෂේකර් එකක්

අයිස් කැට

 

සාමාන්‍ය ආකාරයට ප්ලේන්ටී කහට වැඩි වන ආකාරයට සාදාගෙන, එයට කූල් එළකිරි සහ ටින් කිරි එකතු කර අයිස් කැට සමග ෂේකර් එකකින් ෂේක් කරන්න. ඉන්පසු අයිස්කැට පෙරා හැර පිළිගන්වන්න.

 

3.ඉඟුරු සහ මී පැණි යෙදූ සිට්‍රස් තේ

අවශ්‍ය ද්‍රව්‍ය

 

වතුර කප් 4

ටී බෑග්ස් 2

රස අනුව මීපැණි

ලෙමන් යුශ කප් 1/4

ඉඟුරු අඟලක් පෙති කපාගෙන

 

වතුර උතුරන්න හැර ලිපෙන් ඉවත් කර එයට ටී බෑග් සහ ඉඟුරු එක් කර විනාඩි 3ක් තියාගන්න.

වෙන බඳුනකට පෙරා නිවෙන්නට හැර ලෙමන් යුශ සහ මීපැණි එක් කර ගෙන අයිස් කැට සහ ලෙමන් පෙත්තක් සමඟ පිළිගන්වන්න.

 

4.මින්ට් ටී පන්ච්

අවශ්‍ය ද්‍රව්‍ය

 

උතුරන වතුර කප් 3

ටී බෑග් 4ක් හෝ තේ කොළ තේ හැඳි 4ක්

සීනි කප් 1

දොඩම් යුශ කප් 1

ලෙමන් හෝ දෙහි යුශ කප් 1/4

අයිස් වතුර කප් 5

මිංචි කොළ ඉති හත අටක්

පිළිගැන්වීමට ලෙමන්, දෙහි හෝ දොඩම් පෙති කීපයක් සහ අයිස් කැට

 

මිංචි කොළ සහ ටී බෑග්ස් බඳුනකට දමා එයට උතුරන වතුර එක් කර විනාඩි 8ක් පමණ තියන්න. විනාඩි අටකට පසු ටී බෑග්ස් සහ මිංචි කොළ මිරිකා ඉවත් කරගෙන තේ මිශ්‍රණය පෙරාගන්න.

සීනි එක් කර හොඳින් දියකරගෙන එයට ලෙමන් සහ දොඩම් යුශ එක් කර මිශ්‍ර කරගන්න. අයිස් වතුර ටිකත් එක් කර මිශ්‍ර කරගන්න.

අයිස් කැට සහ ලෙමන් පෙති දමාගත් වීදුරු වලට පුරවා පිළිගන්වන්න.

 

 

5.රුසියානු ක්‍රමයට තේ

අවශ්‍ය ද්‍රව්‍ය

දොඩම් රස බීම පව්ඩර් කප් 2

සීනි කප් 2

තේ කොළ කප් 1/4

කුරුඳු කුඩු තේ හැඳි 1

කරාබුනැටි කුඩු තේ හැඳි 1

උතුරන වතුර කප් 2

අයිස් වතුර අවශ්‍ය පමණ

 

තේ කොළ වලට උතුරන වතුර එක් කර විනාඩි 6ක් පමණ තියන්න. තේ කොළ ටික පෙරාගෙන එයට දොඩම් රස පව්ඩර් සහ සීනි සමඟ කුරුඳු කුඩු සහ කරාබු නැටි කුඩු එක් කර හොඳින් මිශ්‍ර කරගන්න.

මේ මිශ්‍රණය නැවත පෙරාගෙන නිවෙන්නට හැර රස අනුව අවශ්‍ය පමණ අයිස් වතුර එක් කර අයිස් කැට සමඟ පිළිගන්වන්න. 

 

6.ජින්ජ්ර් ඇන්ඩ් පයිනැපල් ටී

අවශ්‍ය ද්‍රව්‍ය

අන්නාසි ගෙඩියේ මැද නාරටියෙන් 200g

ටී බෑග්ස් 3

ඉඟුරු 50g

වතුර ලීටරයක්

සීනි අවශ්‍ය පමණ

 

වතුර ටික උතුරන්නට හැර එයට සිහින්ව පෙති කපාගත් ඉඟුරු සහ කුඩා කොටු කපාගත් අන්නාසි නාරටිය සමඟ ටී බෑග් එක් කර ගන්න.

විනාඩි 2ක් පමණ උතුරුවාගෙන පෙරා සීනි අවශ්‍ය පරිදි එක් කර උණුවෙන්ම පිළිගන්වන්න.

කැමති නම් නිවෙන්නට හැර ශීතකර අයිස් කැට එක් කර පිළිගන්වන්නත් පුළුවන්.

Tags