සොයන්න
උණුසුම් පුවත්

එදිනෙදා ජීවිතය

Uber සහ PickMe පාවිච්චි කරනවා නම් මේ ගැනත් දැනගන්න

අතොරක් නැති තෙල් අරබුද සහ ඒවා එක්ක පැන නැගි ටැක්සි මිළ ගණන් ඉහළ යාම් අතරේ වුණත් හදිස්සියකට මග තොටකදි අපි ටුක් එකක් කැබ් එකක් නවත්තා නොගෙන ඉන්නෙ නෑ. ඒ වගේම මේ වැඩේදි Uber සහ PickMe වැනි ඇප් එකක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කරන ටැක්සි සේවා මුල් තැනක් ගන්නවා. අපි මේ කතා කරන්න යන්නෙ අන්න ඒ විදියට ලංකාව ඇතුළෙ ක්‍රියාත්මක වෙන ඇප් ගැන දැන ගත යුතු මූලික දේවල් වගේම ඒවා ගැන අපි කොයිතරම් දුරට දැනුවත් වෙන්න උවමනාද කියන දේ ගැන. ඒ නිසා අපේ සටහන කියවලා ඒ ගැන ඔයා හඳුනා ගත්තු අලුත් අලුත් දේ අපි එක්ක බෙදා ගන්නත් අමතක කරන්න එපා.

 

අවාසිය මග හැරීම

​Uber සහ PickMe වගේම අනෙකුත් ඇප් භාවිතා කරද්දි හදිස්සියකදී ඇරෙන්නට අනෙක් හැම අවස්ථාවකදීම උපරිම වාසියක් ළඟා කරගන්නට උත්සාහ කිරීම වැදගත්. උදාහරණයකට අපේ ගමනකදී හැකි සෑම අවස්ථාවකදීම වැස්ස සහ පාසැල් හෝ කාර්යාල අවසන් වන වේලාවන් වැනි කාර්යබහුල වේලාවන් මගහැරීමට උත්සාහ කිරීම වැදගත්. මේ වැනි අවස්ථාවලදී අපගෙන් අය කිරීමට නිශ්චිත මුදලට අමතරව තවත් සියයට අගයක් අපගේ ගාස්තුව ලෙසින් මෙම ඇප් හරහා අය වීම සිදු වෙනවා. 

 

ඩිස්කවුන්ට්

සාමාන්‍යයෙන් මේ වැනි ඇප් හරහා නොයෙක් වූ ප්‍රවර්ථන කටයුතු සිද්ධ කරනවා. ඉන් ප්‍රධානම ක්‍රමයක් වන්නේ ඔබව වැඩි වැඩියෙන් මෙම ටැක්සි සේවාවන් භාවිතා කිරීමට උනන්දු කරවන නොයෙක් වූ වට්ටම් ලබා දීමයි. මේ වට්ටම් ලබා දීමේ ක්‍රමය නිසි ලෙස භාවිතා කිරීමෙන් අපට පහසුවෙන් ම සැළකිය යුතු මුදලක් ඉතිරි කරගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම අනෙකුත් ක්‍රමය වන්නේ ඔබ භාවිතා කරන බැංකු සහකරුවන් හරහා නොයෙක් වූ කෝඩ්ස් ඇතුළත් කිරීම මගින් මුදල් වට්ටම් ලබා දීමයි. ඒ අනුව ඔබ භාවිතා කරන බැංකු කාඩ්පතෙන් ගෙවීම සිදු කරන්නේ නම් ඔබට එම මූල්‍ය වාසිය හිමි වෙනවා.

 

ගමන් කිහිපයක්

සාමාන්‍යයෙන් මෙම ටැක්සි සේවාවන් භාවිතා කිරීමේදී වාහනය ස්ථාන කිහිපයක නවත්වමින් ගමන් කිරීමේ අවස්ථාවක්ද උදා වෙනවා. එය ඔබ පෙර සැලසුම් කර සිදු කළ යුතු වුවත්, ඔබ නිවැරදිව ඔබේ ගමන සැලසුම් කරගන්නවා නම් ඔබට ගමන් කිහිපයක වියදම සහ කාලයත් ඉතිරි කරගත හැකි අවස්ථාවක් මේ හරහා උදා වෙනවා. 

 

කිහිප දෙනෙකු

ඒ වගේම ඔබට ඔබගේ ටැක්සි සේවාවේ මිල කිහිප දෙනෙකු සමග බෙදා ගැනීමෙන්ද වැඩි වාසියක් ලබා ගත හැකියි. උදාහරණයකට කාර්යාලයේ සිට නිවස බලා යන ඔබ, ඔබේ ගමනාන්තය අසලටම යන තවත් මිතුරන් දෙදෙනෙකු සම්බන්ධ කරවාගෙන ඔබේ ටැක්සි මිල තුනෙන් එකක් දක්වා අවම කරගැනීමේ වාසිය අත්විඳිය හැකියි.

 

ආරක්ෂාව

සාමාන්‍යයෙන් පාරකදී අපි විසින් නවත්වා ගන්නා ටැක්සියකට වඩා මෙවන් වූ යෙදුමක් හරහා පාලනය වන සේවාවක් භාවිතා කිරීමේ සුවිශේෂම වාසිය වන්නේ එම රියදුරන් මෙහි ලියාපදිංචි වී සිටීම නිසා ඔවුන් මේ ගමන පිළිබඳව යම් වගකීමක් දැරීමයි. ඒ නිසා ඔබේ ගමනට සහභාගී වන වන බවට තහවුරු කරා රියදුරාම එම ලියාපදිංචි රථ අංකයෙන්ම පැමිණෙනවාද? ඔවුන් වැඩි මුදලක් ඉල්ලුවාද? ඔවුන් ගමන් මාර්ගය ඔබට නොදන්නවා සහ ඇප් එකේ සඳහන් මාර්ගයට වඩා වෙනස් කළාද? ඔවුන් ඔබට නොයෙක් වූ අයුතු යෝජනා සිදු කළාද? යන දේ ගැන අවධානයෙන් පසුවන්නට වගේම ඇප් එක හරහා ඒ බව දැණුම් දෙන්නටත් ඔබට සිදු වෙනවා. ඒ වගේම යම් අවස්ථාවක ඔබේ බඩු බාහිරාදිය අමතක වීමකින් රථය තුළ දමා ආවේ නම් එම රියදුරා සම්බන්ධ කරගෙන ඒවා ලබා ගැනීමටත් මෙම ටැක්සි සේවා භාවිතය උදව්වක් වෙනවා.

 

ඔබ අසාධාරණයට ලක් විය හැකි අවස්ථා

ඇතැම් රියදුරන් ඔබේ ගමන තහවුරු කර පසු ඔබ සඳහන් කරනා තැනට නෑවිත් සිටිනවා. ඉන්පසු ඔබ එම ගමන අත්හැර දැමූවිට ඔවුන් හට කිසිඳු මහන්සියකින් තොරව ඔබගෙන් යම් මුදලක් අය වීම මීට හේතුවයි. මේ නිසා යම් රියදුරෙකු ඔබේ ඇනවුම තහවුරු කළ වහාම ඔවුන් හට දුරකතන ඇමතුමක් දී පැහැදිලිව ඔබ සිටින තැනට එන අයුරු සහ එය තහවුරු කරගැනීම වැදගත්.

 

ඒ වගේම තවත් රියදුරන් ඔබ අසලට පැමිණ ටැක්සි සේවාවේ සඳහන් කරන අගයට වඩා වැඩි අගයක් ඉල්ලා සිටීම හෝ ටැක්සි සේවාවට ගෙවන කොමිෂන් මුදල අඩු කරගැනීමට​ එය කැන්සල් කර එම මුදලටම ගමනාන්තයට යෑම වැනි යෝජනා සිදු කරනවා. මෙවැනි දේ නීත්‍යානුකූල නොවන නිසා ම සහ එය ටැක්සි සේවාවක් භාවිතා කරන ඔබේ ආරක්ෂාවට තර්ජනයක් නිසා එවැනි යෝජනා බැහැර කිරීම වැදගත්.

 

ඒ වගේම ඔබට නිශ්චිත වූ මුදල වැඩි කරගැනීම වෙනුවෙන් ඇතැම් රියදුරන් සිතියමේ පෙන්වන ආකාරයට නොගොස් පාර වැරැද්දීමද සිදු කරනවා. ඒ නිසා අවධානයෙන් ඒ සම්බන්ධයෙන් උපදෙස් දීමත් අපට සිදුවිය හැකි අවාසි මගහැර ගැනීමට උදව්වක් වෙනවා.

 

මෙවැනි කාරණාවලට අමතරව ඔබේ අත්දැකීම් ද අප සමග බෙදාගෙන වඩා සාර්ථක ලෙසින් මෙම සේවාවන් භාවිතා කිරීමට ඇති අවස්ථා වැඩි කරගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.

Tags