සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

දකුණු වෙරළ මුහුදේ විශාල මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමේ තොරතුරු ලබාදුන් අධ්‍යක්ෂවරයාට ස්ථානමාරුවක්

දකුණු වෙරළට ඔබ්බෙන් මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් ඉතිහාසයේ විශාලතම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබාදුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතාට ස්ථාන මාරුවක් ලබාදී තිබේ. ඔහු පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ අණදෙන නිලධාරියා ලෙස යවා ඇති අතර, මාරුවට හේතුව තවමත් ප්‍රකාශ වී නොමැත.

වසර 31කට ආසන්න සේවාකාලයක් තුළ කිසිදු දූෂණ චෝදනාවක් නැති ඔහු, මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා ලෙස වසර දෙකකට ආසන්න කාලයක් කටයුතු කර ඇති අතර, එහිදී ටොන් 2ක් පමණ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම විශේෂත්වයක් ලෙස සැලකේ. හේමාල් ප්‍රශාන්ත මහතා ක්‍රියාත්මක කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ධීවර බෝට්ටු අයිතිකරුවන්, ස්කීපර්වරුන් සහ ගැනියන් දැනුවත් කර, දකුණු වෙරළ මත්ද්‍රව්‍ය ගොඩබිමට ගෙන ඒම වැළැක්වීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ඔහුගේ තොරතුරු මත නාවික හමුදාව කිලෝග්‍රෑම් 839ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සිදුකර ඇත. ඒ අතර අයිස් කිලෝග්‍රෑම් 670ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 156ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 12ක් අඩංගු බව පොලිස් පැවසීය. මෙම මෙහෙයුම පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණයෙන් සිදුකළ වැටලීමක් වීමද විශේෂත්වයකි.

Tags