දේශීය පුවත්
ශ්‍රීපාදය දක්වා ගමන්ගන්නා මාර්ගයක් දින 10ක කාලයක් වසා තබයි
ගිනිගත්හේන, දියගල හරහා නෝටන්බ්‍රිජ් සිට ශ්‍රීපාදය දක්වා ගමන් ගන්නා මාර්ගයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම මාර්ගය දින 10 කාලයක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
පාලමක් ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගයේ නව බේලි පාලමක් ඉදි කිරීමට මෙලෙස වසා තැබෙනු ඇති.
මේ අනුව අද (14) සිට ජුනි මස 24 වනදා දක්වා දින 10ක කාලයක් එම මාර්ගය වසා තැබීමට නියමිතයි.
මාර්ගය වසා තබන කාලය තුළ කොළඹ සිට එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කළුගල පොල්පිටිය ලක්ෂපාන හරහා නෝටන්බ්‍රිජ් මාර්ගය සහ හැටන් නෝටන්බ්‍රිජ් මාර්ගය භාවිතා කරන ලෙස නෝර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දන්වා සිටිනවා.
එම මාර්ගයේ ලොනැක් වත්ත ප්‍රදේශයේ කැළණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරහා ඉදිකර ඇති පාලම දැඩි ලෙස අබලන්ව තිබීම සහ එම පාලම මැදින් එක් කොටසක් ගිලා බැසීමේ අවධානමක් හේතුවෙන් මෙලෙස පාලමක් ඉදි කිරීමට සිදුව තිබෙනවා.
